ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අපේ උරුමය – 1 කොටස.

අමා එච් වන්නිආරච්චි විසිනි.

(අගෝස්තු 6 වැනි දින, Ceylon Today පුවත්පතේ, අමා එච්. වන්නිආරච්චි විසින් රචිත Heritage in Peril යනුවෙන් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.)

ඉපැරණි කුරුන්දි විහාරස්ථානය මුල් කරගෙන මෑතකාලයේ ඉස්මතු වූ අර්බුධය ශ්‍රී ලංකාවේ උරුම කළමනාකරණය පිළිබඳව අපට නැවත සිතන්නට පොළඹවන්නකි.

පසුගිය සතියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (DoA) විසින් කෘෂි-පුරාවිද්‍යා සහ වාරි පුරාවිද්‍යා ඒකකයන් ආරම්භ කළ අතර, එයින් පෙනී යන්නේ තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම කාර්යභාරය පිළිබඳව යම් දුරකට අනවබෝධයක සිටින බවත්, උරුම කළමනාකරණ ක්ෂේත්‍රයේ තම ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කිරීමට අපොහොසත් ව සිටින බවයි. එසේම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් කෙරෙහි නොනවත්වා බලපාන ‘පුරාවිද්‍යාකරණ’ ක්‍රියාවලිය, අණපනත්වලට සංශෝධන ගෙන ඒමට අමතක කිරීම හෝ නොසලකා හැරීම, ජාතික උරුමයන් ලැයිස්තුගත කිරීම ප්‍රමාද කිරීම සහ ආරක්ෂිත ස්ථාන සහ ස්මාරක ගැසට් කිරීම සහ සලකුණු කිරීම සිදු නොවීම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට තවදුරටත් හානි සිදු කරයි.

පසුගිය මාසයේ ජනාධිපති මන්දිරයට හානි වූ අවස්ථාවේ මාධ්‍ය වාර්තා කළේ එය විනාශ වන අවස්ථාව වන විට එය ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කර නොතිබූ බැවින් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇති බවයි. කෙසේ වෙතත්, දැනට ලංකාවේ බලපවත්වන පුරාවස්තු ආඥාපනත මත පදනම්ව, වසර 100 කට වඩා පැරණි ස්මාරකයක් බැවින්, එම ස්ථානයට ස්වභාවිකවම පනත යටතේ යම් ආරක්ෂාවක් සහ ආවරණයක් ඇති බව සඳහන් කළ යුතුය.

කුරුන්දි හි සිද්ධිය ඇති වූ අවස්ථාවේ පවා දෙපාර්තමේන්තුව, නිල ප්‍රකාශයක් කිරීමට මැළි වීමම, මේ සමස්ථ සිදු වීම පිළිබඳ බොහෝ වැරදි මතවාද ප්‍රචාරය වීමට ප්‍රධාන හේතුවක් විය.

නීතිය හා සාමය පවතින්නේ නම්, දැනට පවත්නා පුරාවස්තු ආඥාපනත නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කළ හැකි බව ද මෙම සිද්ධියෙන් අනාවරණය විය. එබැවින්, දෙපාර්තමේන්තුව, සිය වගකීම් සහ ප්‍රමුඛතා නිසි ලෙස හඳුනා ගෙන උරුම කළමනාකරණ කටයුතු පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

තවත් අතකින් කුරුන්දි සිද්ධිය ජාතියේම දෑස් විවර කළ අතර උතුරු නැගෙනහිර උරුමයන් මුහුණ දෙන බොහෝ තර්ජන කෙරෙහි සාමාන්‍ය මහජනතාවගේ අවධානය යොමු කරන්නට සමත් විය. කුරුන්දි සිද්ධියත් සමඟම අතීතයේ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින ඒ හා සමාන සිදුවීම්වල දිගු ලැයිස්තුවක් ශ්‍රී ලංකාවාසීන්ගේ අවධානයට ලක්විය.

උතුරු නැඟෙනහිර පෞරාණික ස්ථාන සහ ස්මාරක රැසකටත් කූරගල, දෙවනගල වැනි ඇතැම් ස්ථානවලටත් ආගම්වාදී අන්තවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ තර්ජන එල්ල වී ඇති බව නොරහසකි.

කුරුන්දී සිද්ධිය ඇති වූ විට සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් ඒ සිද්ධිය විකෘති කළේ එය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිංහල ජාතිවාදීන් විසින් ජාතිවාදය ඇවිස්සීමට ගොතන ලද සිද්ධියක් බව පවසමිනි. කෙසේ වෙතත්, මෙම චෝදනා අසත්‍ය බව වැඩි කල් නොගොස්ම ඔප්පු විය. ආගමික, සංස්කෘතික සහ ජාතික වශයෙන් වැදගත් උරුම ස්ථානයකට සිදු වන හානිය හෝ තර්ජන හෙළි කිරීම ජාතිවාදය ඇවිලවීමට නොව රටේ ජාතික උරුමය සුරැකීමට බව අප සටහන් කළ යුතුය. එබැවින් සත්‍යය විකෘති කිරීම සහ එවැනි සිදුවීම් වැරදි ලෙස අර්ථකථනය කිරීම නොකළ යුතුය.

සත්‍ය කරුණු වාර්තා කිරීමෙන් සහ පක්ෂග්‍රාහී නොවීම තුළින් රටේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා මාධ්‍යයට කළ හැකි වැදගත් කාර්යභාරය ද මෙම සිදුවීම අපට අවබෝධ කර දුන්නේය.

මේ අනුව, රටේ සංස්කෘතික උරුමයන් කෙරෙහි අපගේ වගකීම සහ යුතුකම අවබෝධ කර ගනිමින්, අපි රටේ උතුරු හා නැඟෙනහිර පුරා විසිරී ඇති පෞරාණික ස්ථාන සහ ස්මාරක ගවේෂණය කිරීමේ ගමනක් ආරම්භ කරමු. මෙය කිසිසේත්ම ජාතිවාදය ඇවිස්සීමට හෝ වෛරය පැතිරවීමට නොවේ. අපි ඉතිහාස සිද්ධීන් ඒ ආකාරයෙන්ම වාර්තා කරන්නෙමු, සම්පූර්ණයෙන්ම සහ තනිකරම පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ නිවැරදි ඉතිහාස වාර්තා මත පදනම්ව පමණක් මෙම ඉතිහාස ගවේෂණය සිදු කරන්නෙමු. අපි ජාතියකට හෝ ආගමකට හෝ කිසිදු දේශපාලන මතයකට පක්ෂග්‍රාහී නොවන්නෙමු; මිථ්‍යාවන්ට සහ ප්‍රබන්ධවලට ඉඩ නොදෙන්නෙමු.

නටබුන් බොරු නොකියයි…

පුරාවිද්‍යාත්මක සාක්ෂි බොරු නොවන අතර ඒවායේ සැබෑ අනන්‍යතාවය ව්‍යාජ ලෙස දැක්විය නොහැක. යාපනය, කිලිනොච්චි හෝ මුලතිව් පුරාණ විහාරස්ථානයකින් පිළිමයක් සොයා ගෙන එය බුද්ධ ප්‍රතිමාවක් හෝ බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස හඳුනා ගන්නේ නම් එය සත්‍යයකි. එය විකෘති කර එයට ව්‍යාජ අනන්‍යතාවයක් දිය නොහැක. ඔඩ්ඩුසුඩාන් හෝ පොතුවිල් හෝ වවුනියාවෙන් හමු වූ ශිලා ලිපියක සිංහල නමක් ඇති රජෙකු විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කළ ස්ථානයක් ගැන කියවෙන්නේ නම් එය සත්‍යයකි. පිළිගත් න්‍යායන් සහ ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කියවීම් හෝ අර්ථකථන ලබා දී ඇත. එබැවින් එවැනි කරුණු මත එල්බ ගෙන සටන් කිරීම සහ සත්‍යය විකෘති කිරීම පදනම් විරහිත ය.

එසේම යම් ස්ථානයක හෝ ස්මාරකයක අනන්‍යතාවය විකෘති කිරීම හෝ වැරදි අර්ථකථන දීම ප්‍රජාවක අයිතිවාසිකම් කඩ කිරීම සහ ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කිරීම ලෙස අර්ථ දැක්විය හැක.

ශ්‍රී ලංකාව වැනි රටක සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් මතභේද පවතින බැවින් අනුගමනය කළ හැකි හොඳම පිළිවෙත වන්නේ විද්වතුන්, පූජ්‍ය පක්ෂය සහ මහජනතාව ඇතුළු සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකම එක්ව අධ්‍යයන හා කැණීම් සහ ගවේෂණ කටයුතු සිදුකිරීමයි. මෙම අධ්‍යයනයන් අපක්ෂපාතී විය යුතු අතර තනිකරම පිළිගත් න්‍යායන් සහ ක්‍රමවේද මත පදනම් විය යුතුය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර උරුමය තර්ජනයට ලක්ව ඇත්තේ ඇයි?

අපි උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවේෂණයට යාමට පෙර, මෙම ස්ථාන දැඩි තර්ජනයට ලක්ව ඇත්තේ මන්දැයි කෙටියෙන් බලමු.

රටක පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ එහි සංස්කෘතිය එහි සමාජ-සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා භූමියේ සහ ජාතියේ අනන්‍යතාවය, ජාතියකට ඉඩම් පිළිබඳ අයිතිය, ඔවුන්ගේ ඉඩම් උරුමය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ දර්ශක ද වේ. මේ අනුව, සංස්කෘතික උරුමයන් සෑම විටම ජාතිවාදය, ජාතිකවාදය සහ ජාතික අනන්‍යතාවය වැනි සංවේදී හා සංකීර්ණ ගැටළු කරා ඇදගෙන යනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමක් තවමත් පවතින බැවින් සංස්කෘතික උරුමයන් ඇතැම් කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ ඉලක්කය වී ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමේ කේන්ද්‍රස්ථානය වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයි. ජාතිවාදී දෙමළ දේශපාලනඥයන් කියන පරිදි එම කොටස වසර දහස් ගණනක සිට සම්ප්‍රදායික දෙමළ නිජබිමක් විය. මෙම චින්තනය මත පදනම්ව, 1930/40 ගණන් වලදී, ඉංග්‍රීසින් උතුරු තැනිතලාවේ වාරි සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කරන විට ජාතිවාදී දෙමළ දේශපාලනඥයන් ඊට විරුද්ධ විය. මේ චින්තනය මුල්කරගෙන උතුරු තැනිතලාවේ සිංහල ගොවීන්ට එරෙහිව නැගී සිටි ඔවුන් ක්‍රමක්‍රමයෙන් උතුරු නැගෙනහිරින් සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනතාවද පලවා හැරීමේ වාර්ගික පවිත්‍ර කිරීමේ (ethnic cleansing) ක්‍රියාවලියක් ආරම්භ කළහ.

සිංහල දෙමළ ජනතාව අතර වෛරය සහ ජාතිවාදය පිළිබඳ සිතුවිලි පතුරුවා හරින මේ මුල්කාලීන ජාතිවාදී දෙමළ දේශපාලනඥයන්ගේ සිත් තුළ මෙවැනි සිතුවිලි ඇති වීම කනගාටුදායකය. මේවා සාමාන්‍ය දෙමළ ජනතවගේ සිතිවිලි නොව දුෂ්ඨ ජාතිවාදී දේශපාලකයන්ගේ පමණක්ම වූ බවත් ‘බෙදා පාලනය’ භුක්ති විඳි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පෝෂණය කරන ලද බවත් අප සටහන් කළ යුතුය. ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජනතාව සැමවිටම සහජීවනයෙන් ජීවත් වූ ආකාරයත් බෞද්ධ හා හින්දු සංස්කෘතීන්, විශ්වාසයන් සහ සම්ප්‍රදායන් එකිනෙක බද්ධ වී අනන්‍ය දේශීය සංස්කෘතියක් බිහි කළ ආකාරයත් සනාථ කිරීමට අතීතයේ සහ වර්තමාන සාක්ෂි අප සතුව ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර දෙමළ නිජබිමක් පිළිබඳ චින්තනය කාලයත් සමඟ වර්ධනය වූ අතර එය වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම දක්වා ගමන් කරයි; ඊළාම් සිහිනය මෙම චින්තනයේ ප්‍රතිඵලයයි. මෙම ඊළම දිවයිනෙන් අඩකට වඩා පැතිරී ඇති අතර ඒ යටතේ පිරිසිදු දෙමළ වාර්ගික රාජ්‍යයක් ඉල්ලා සිටි බැවින් එම ප්‍රදේශවලින් සිංහලයන් ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙම දුෂ්ට ඉල්ලීමේ විනාශකාරී ප්‍රතිඵලය වූයේ කොටි ත්‍රස්තවාදී සංවිධානය (එල්ටීටීඊ) බිහිවීමයි. ඔවුන් වසර 30ක් සටන් කළේ දිවයින රාජ්‍යයන් දෙකකට වෙන් කර උතුරු නැගෙනහිරින් සිංහල ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලමින් ය. 2009 දී එල්.ටී.ටී.ඊ.යේ හමුදාව පරාජය කළත් ඔවුන්ගේ මතවාදය විනාශ වීමක් සිදු වූයේ නැහැ. බෙදුම්වාදී මතය තවමත් ජීවමාන වන අතර එය අතර හොඳින් පෝෂණය වී ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ඊළාම් සිහිනය

උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජභූමියක් තිබෙන බව ඔප්පු කිරීමට තිබෙන ලොකුම තර්ජනය වන්නේ රටේ සංස්කෘතික උරුමයන් ය. උතුරු නැඟෙනහිර දෙමළ නිජබිමක ඓතිහාසික පැවැත්ම තහවුරු කිරීමට ඇති ලොකුම බාධාව වන්නේ පාලි, සිංහල, සංස්කෘත පැරණි ග්‍රන්ථ සහ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් අප සතුව පවතින නිසාය. මෙයින් අදහස් කරන්නේ, පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ඓතිහාසික දෙමළ නිජභූමියක් කෙරෙහි හිමිකම් පෑමක් සහ උතුරු නැගෙනහිර පිරිසිදු දෙමළ ජනවාර්ගික රාජධානියක පැවතීමත් පැහැදිලිවම බිඳ වැටෙන බවයි. සාරාංශයක් ලෙස කිවහොත්, පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළි වන්නේ ඊළාම් යනු මිත්‍යා සංකල්පයක් වන අතර එය යථාර්තවාදී නොවන අදහසක් බවයි. ඇතැම් ජාතිවාදී උගතුන් කොතරම් විකෘති කතා ලියා පළ කළත් මේ කරුණු වෙනස් කළ නොහැක.

දශක ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර බොහෝ ස්ථාන සහ ස්මාරක විනාශ කරන්නේ එබැවිනි. යුද්ධය පැවති සමයේ දශක තුනකට ආසන්න කාලයක් එල්.ටී.ටී.ඊ.ය යටතේ පැවති ප්‍රදේශවල බොහෝ ස්ථාන සහ ස්මාරක විනාශ වී හෝ ඒවා මත කෝවිල් ඉදිකර ඇත.

පශ්චාත් යුධ සමයේදී මෙම ස්ථාන නැවත වරක් මහජනතාව සඳහා විවෘත විය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බැතිමතුන් සහ විද්වතුන් මෙම ස්ථානවලට ගොස් ඔවුන්ගේ ආගමික වතාවත්වල සහ අධ්‍යයනය නිරත වෙති. නමුත් මේ සියල්ල සිදුවෙද්දී දෙමළ දේශපාලනඥයන් සහ ජාතිවාදී කණ්ඩායම් මේ භික්ෂූන් වහන්සේලාට සහ උපාසක උපාසිකාවන් කෙරෙහි වෛරය ප්‍රකාශ කරමින් උසාවි වල නඩු පවා පවරන අතර, මේ ස්ථානවල අනන්‍යතාව වෙනස් කරමින් මතවාද ද ප්‍රකාශ කරන්නේය. මෙම ස්ථානවල අනන්‍යතා ගැටලුව විසඳීමට ඇති පහසුම සහ විනිවිද භාවයෙන් යුත් ක්‍රමය සිංහල හා දෙමළ ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් මෙම ස්ථාන සහ ස්මාරක පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීම බව නැවත වරක් අපි අවධාරණය කරමු.

පසුගිය මාසවල කොළඹ පැවති ජනතා විරෝධතා සහ ප්‍රයිඩ් (PRIDE) පාගමන්වලදී ‘උතුරු-නැගෙනහිර බෞද්ධකරණය නැවැත්විය යුතුය – සාම්ප්‍රදායික දෙමළ නිජබිම බෞද්ධකරණය නැවැත්විය යුතුය’ යැයි කියමින් ඇතැමුන් සටන් පාඨ ගෙන උතුරේ සිදුවන පුරාවිද්‍යා හා බෞද්ධ වැඩකටයුතුවලට එරෙහිව සිය නොකැමැත්ත පළ කළහ. පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක මත පදනම්ව, රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ‘බෞද්ධකරණයට’ යනුවෙන් සිදු කරන්නට අලුත් දෙයක් නැත. මෙම ප්‍රදේශයන්හි විසිරී ඇති විහාරස්ථාන විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල ඓතිහාසික අනන්‍යතාවයන්ට සාක්ෂි දරයි. මෑත කාලයේ භික්ෂූන් වහන්සේලා හෝ ශ්‍රී ලංකා රජය හෝ සිංහලයන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට අලුතෙන් හෝ අමුතුවෙන් පන්සල් හදන්නට යෑමක් සිදු වන්නේ නැත. සිංහල බෞද්ධයන් කවදත් එම ප්‍රදේශවල සිටි අතර දැන් සිදු කරන්නේ ඒවා නැවත පණ ගැන්වීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ය; ඕනෑම උරුම ස්ථානයක් එලෙස ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුය.

යුනෙස්කෝව සහ දේශීය පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ නීති, ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ ලේඛනගත කිරීම දිරිමත් කරයි.

කිසිම පැහැදිලි කිරීමක් හෝ තර්කයක් යටතේ, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය රටේ සාමයට, ආගමික සහජීවනයට හෝ සංහිඳියාවට තර්ජනයක් ලෙස දැකිය නොහැක. ඇත්ත වශයෙන්ම සංස්කෘතික උරුමය සාමයේ සහ සහජීවනයේ තානාපතිවරුන් වේ.
ඒ නයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සාමයට බාධාවක් ලෙස හෝ ජාතිවාදයේ දර්ශකයක් ලෙස දැකීම එසේ දකින අයගේ මනසෙහි පවන්නකි.

අපි එකමුතු වී ‘අපේ’ උරුමය රැක ගනිමු.

ශ්‍රී ලංකාව හෝ උතුරු නැගෙනහිර ප්‍රදේශයන් තනිකරම එක් ජාතියකට හෝ එක් ආගමකට හෝ අයත් රාජ්‍යයක් විය යුතු යැයි කීමට අප අදහස් නොකරන බවද අවධාරණය කළ යුතුය. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සුන්දරත්වය එහි සංස්කෘතික විවිධත්වය තුළ පවතී. එබැවින් මෙම සංස්කෘතික විවිධත්වයට දායක වන සියලුම ජාතීන්ට, ජන වර්ගවලට, ආගම්වලට සහ ප්‍රජාවන්ට වෙනම රාජ්‍යයක් තුළ නොව එකට එක්ව ශ්‍රී ලංකාවේ ජීවත් වීමට හැකි විය යුතුය. බෙදුම්වාදය පිටු දැකිය යුතුය.

එසේම, මෙම ස්ථාන සහ ස්මාරක සඳහා පුද්ගල කේන්ද්‍රීය කළමනාකරණ ප්‍රවේශයක් කරා ගමන් කිරීමේ අවශ්‍යතාවය අපි පැහැදිලිවම අවධාරණය කරමු. මෙම ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන් මෙම ස්ථාන සහ ස්මාරක ‘ඔවුන්ගේ’ උරුමයේ කොටසක් ලෙස ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයේ’ කොටසක් ලෙස අවබෝධ කර ගැනීම සහ පිළිගැනීම වැදගත් වේ. මෙම ස්ථාන නිසා ඔවුන්ට ලැබෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ තේරුම් ගැනීම ද වැදගත් ය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඉතිහාසය.

නූතන උතුරු පළාත දිස්ත්‍රික්ක පහකින් සමන්විත වේ; යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව. නූතන නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ; අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය.

නූතනයේ උතුරු පළාතම පාහේ ඓතිහාසික යුගයේදී පුරාණ උත්තර පස්ස හෝ පුරාණ උතුරු ප්‍රදේශය වී ඇති අතර නූතන නැගෙනහිර පළාතෙන් වැඩි කොටසක් පැරණි රුහුණු රටට අයත් විය.

මතු සම්බන්ධයි…

මුල් ඉංග්‍රීසි ලිපිය කියවීම සඳහා පිවිසෙන්න
https://ceylontoday.lk/2022/08/06/heritage-in-peril/

Uncategorized, Ama H.Vanniarachchy, Eelam, Jaffna, Sri Lanka North and East, Sri Lankan archaeology, SRI LANKAN HISTORY