ගාලුමුවදොර පිටියේ සහ ශ්‍රී ලංකාවේ වෙනත් තැන්වල ඇති ‘අරගලය’ පිළිබඳ සංස්කෘතික මානව විද්‍යාත්මක අධ්‍යයනයක්.
අමා එච් වන්නිආරච්චි විසිනි.
ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් පවතින මහජන විරෝධතා නොහොත් අරගලය බොහෝ ආකාරවලින් ඇස් ඇරවන්නකි. සංස්කෘතික මානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් මෙම විරෝධතා සමීපව අධ්‍යයනය කිරීමේදී සිදු කළ යුතු රසවත් සාකච්ඡා සහ නිරීක්ෂණ බොහෝය. පීඩිත සහ කෝපයට පත් මහජනතාව යනුවෙන් හඳුන්වන කොටස් තම නිවෙස්වලින් පිටතට ගොස් රජය සහ දේශපාලනඥයන් කෙරෙහි තම කලකිරීම සහ අප්‍රසාදය ප්‍රකාශ කිරීම හැරුණු විට තවත් සමාජ හා සංස්කෘතික ප්‍රවණතා රාශියක නැගීමක් ද මේ කියන අරගලය හරහා දැකිය හැකිය.
සංස්කෘතිය සහ උරුමය යනු සජීවී දෙයක් වන අතර එය මිනිසුන්ගේ ජිවිත වල කොටසකි. එය සජීවී හා පරිණාමය වෙමින් පවතී. එය ජනතාවගේ විඥානය සහ හැසිරීමයි. එහෙයින් අපි මේ කියන ඊනියා අරගලය එහි ආරම්භයේ සිට අද දක්වා ඉතා සමීපව නිරීක්ෂණය කළෙමු; මේ අරගලය තුළින් සමාජයට එල්ල කරන කම්පන සහ එයට නායකත්වය දෙන බොහෝ සමාජ හා සංස්කෘතික ප්‍රවණතා සහ එය සමාජයට සහ සමාජය විසින් එයට ප්‍රතිවිරෝධී ලෙස අනෙක් අතට ඇති කරන සමාජ හා සංස්කෘතික බලපෑම තේරුම් ගැනීමට අපි උත්සහ කළෙමු. මෙම කෙටි විග්‍රහයේ දී අප අපගේ විෂය පථය ශ්‍රී ලංකාවට පමණක් නොඇලී, ගෝලීය සංස්කෘතික හා සමාජීය ප්‍රවණතා රාශියක් ද නිරීක්ෂණය කළ බව අප සටහන් කළ යුතුය. එසේම ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය සහ ගෝලීය භූ දේශපාලනයත් අපගේ විෂය පථය තුළ විය.
මතවාදයන් සහ අභිප්‍රායන් අතර ගැටුමක්…
දූෂණයට සහ ඥාති සංග්‍රහයට එරෙහිව ඊනියා පීඩිත මහජනතාවගේ විරෝධයක් ලෙස මෙම විරෝධතාව ආරම්භ කළද මේ වන විට එය අමුතුම ගමන් මගක යන බවක් පෙනේ. පසුගිය දා එහි සිටි ඇතැම් පිරිස් ඉල්ලා සිටියේ, උතුරෙන් සිංහල ජන කොටස් ඉවත් කරන ලෙසත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ නිකුත් කිරීම වැනි ‘සටන් පාඨ’ සහ එම මත දරණ විරෝධතාකරුවන් රැසක් බිහිවෙමින් පවතී. මේ අතර සන්නස්ගලලා වැනි ඇතැම් පුද්ගලයෝ දළදා මාලිගාව වැනි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව තම වෛරය පිටකරන අතර ඇතැමුන් මියගිය ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ට අනුකම්පා කරන සටන් පාඨ රැගෙන යති. ඒ අතර, මෙතෙක් සමාජය තුළ විහිළුකාරයන් වූ රැට්ටා, මෝටිවේෂන් අප්පච්චි වැන්නවුන් ඊනියා අරගල භූමියේදී නායකත්වයක් ගන්නට තැත් දරමින් සිටි. හාස්‍යය හෝ කණගාටුව වන්නේ විශ්ව විද්‍යාල උගතුන්ද මේ කියන විහිලු කාරයන් සහ සමාජ මාධ්‍ය චරිත සමග එක පෙළට ගොස් සිටගෙන සිටිනු දැකීමයි.
විරෝධතාවයේ දී වයෝවෘද්ධ මිනිසුන්ට අපහාස කරන සටන් පාඨ සහ ජාතිවාදී සටන් පාඨ එහෙන් මෙහෙන් මතු විය. ඊනියා රෝන්ග් ජෙනරේෂන් ඉතාම නිදහස් චින්තයක් ඇති, විවෘත මනසක් ඇති පිරිසක් ලෙසත්, සාමය සහ ප්‍රේමය අගයන ප්‍රගතිගාමී පිරිසක් ලෙස පෙනී සිටියද, මිනිසුන්ගේ වයස සහ ජාතිය මුල් කරගෙන අපහාසයට සහ පිළිකුලට ලක් කිරීම යනු, ශිෂ්ට සම්පන්න සමාජයක සිදු නොකරන එමෙන්ම අගතිගාමී ක්‍රියාවක් බව නොදන්නවා නොවේද?
එසේම පසුගිය දා යට ඇඳුම් විශේෂයෙන් කාන්තා යට ඇඳුම් එල්ලමින් සිදු කළ විරෝධය කුමන ශිෂ්ට සම්පන්න සීමා මායිම් තුළ මැනිය හැක්කක්ද?
මේ ලිපිය ලියන දින වන විට, දැන ගන්නට ලැබුණු පරිදි අසරණ කපුටෙක් මරා එල්ලීමට හෝ මැරුණු කපුටෙක් එල්ලීමට තරම්, මේ ප්‍රේමය සහ සාමය අගයනවා කියන අරගලකරුන්වන්ගේ මනස පහත තලයකට වැටුණේ ද? විරෝධය පෙන්වීමට කියා හෙට අනිද්දාට තව කවර සතුන් මරා මළකුණු ප්‍රදර්ශනය කරයිද? නැතහොත් එයින් සංඛේතවත් කරන පරිදි ඔවුන් සාමය සහ ප්‍රේමය අත්හැර, ම්ලේච්ඡත්වය අතට ගන්නා බවට මේ ඉඟියක් ද?
සමාජ මාධ්‍ය කලඹා දැමූ තවත් ප්‍රවණතාවක් වූයේ සිංහල බෞද්ධ කියා දෙයක් නොමැති බවත්, එය හුදු ජාතිවාදී ප්‍රකාශයක් පමණක් බවත්ය. නමුත් සත්‍යය නම් මෙය සැබෑ ලෙසම සංස්කෘතියක් සහ ප්‍රජාවක් හඳුනාගැනීමේ ඓතිහාසික යෙදුමකි.
නොදැනුවත්කමද? යටි අරමුණු සහිතද?
මේ අතර, විරෝධතාවයේ දී ඒකීය ශ්‍රී ලංකාව (රට සඳහා නිවැරදි යෙදුම සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති යෙදුම) වෙනුවට එක්සත් ශ්‍රී ලංකාව යන යෙදුම් භාවිතා කරන ලදී. මෙය නොසලකා හැරිය යුත්තක්ද? එක්සත් ශ්‍රී ලංකාවක් යනු කාගේ පැතුමක් ද?
පසුගිය සතියේ ඇතැමුන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක පිළිරුවේ දෑස් වසා දැමූ අතර එය ඇතැමුන් කෝපයට පත් කළ අතර බොහෝ දෙනා එය විවිධ ආකාරයෙන් අර්ථකථනය කළහ. මෙවන් ක්‍රියා කලාපයන්ගේ යටි අරමුණු මොනවාද?
ඇත්තටම සිදුවන්නේ කුමක්ද?
ඔවුන් කරන දේ ගැන ඔවුන් දැනුවත්ද?
සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාව බේරා ගන්නා ලෙස ඇනොනිමස් නැමැති හොර කණ්ඩායමකගෙන් උදව් ඉල්ලා සමාජ මාධ්‍ය හෑෂ් ටැග් වලින් පිරී ගිය අතර එය අතිශයින්ම හාස්‍යජනක ක්‍රියාවක් බවට පත්විය.
මෙයින් යළිත් වරක් පෙනී යන්නේ අප රට තුළ කිසියම් බුද්ධිමය බංකොලොත්භාවයක් පවතින බව නොවේද? එසේ නොවන්නේ නම්, සන්නස්ගල, රැට්ටා වැනි යූ ටියුබ් චරිත වීරයන් වන්නේද? ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කීවා මෙන්, රටේ පවත්නා ‘දැක්මක් ඇති බුද්ධිමතුන්ගේ හිඟය’ නිසා මෙවන් චරිත සමාජයේ වීරයන් බවට පත් වන්නේය.
ජනතාව පවතින ක්‍රමය ගැන ප්‍රශ්න කිරීමටත් සැක කිරීමටත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටීමටත් පටන් ගත්හ.
මොකක්ද මේ සිස්ටම් වෙනස් කිරීම? වෙනස් කිරීමට පෙර අප සිස්ටම් එක ගැන දැනුවත් ද?
අපට අවශ්‍ය දේ ගැන අපි හොඳින් උගත්ද?
අපගේ දේශපාලන ඉතිහාසය, ආර්ථික ක්‍රමය, භූ දේශපාලනය සහ විවිධ දේශපාලන, සමාජීය සහ සංස්කෘතික ප්‍රවණතා පිළිබඳව අප දැනුවත්ද?
Google හෝ සමාජ මාධ්‍ය හරහා ඉගෙනීමෙන් පමණක් අපව ප්‍රඥාවන්ත, බුද්ධිමත් පරම්පරාවක් බවට පත් කළ හැකිද?
පවතින ආර්ථික ක්‍රමයත් දේශපාලන ක්‍රමයත් අනුව රට අසාර්ථක වී ඇති බව ජනතාවට හැඟේ. නමුත් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී පෙනී යන්නේ අප සටන් කරන්නේ කුමක් සඳහාද සහ කුමකට විරුද්ධවද යන්න පිළිබඳව මීට වඩා දැනුවත් විය යුතු බවයි. මෙය අපගේ අධ්‍යාපන ක්‍රමය ගැන දැඩි සැකයක් ඇති කළේය. ඒවා හුදු උපාධි සහිත ශිෂ්‍ය කණ්ඩායම් සහ රැකියා උත්පාදන ආයතන (පාසල් සහ විශ්ව විද්‍යාල) සහ මහජන මුදල් නාස්ති කරන ගොඩනැගිලි පමණක්ද? අපේ රාජ්‍ය අංශය කෙතරම් ඵලදායීද?
රටේ උගතුන් මේ අර්බුධය වෙලාවේ රට එයින් ගොඩ ගැනීමට උත්සහ කරනවා වෙනුවට, ඇවිලෙන ගින්නට පිදුරු දමන්නේ ඇයි?
මුහුණත් එක්ක තරහට නහය කපා ගැනීම බුද්ධි ගෝචරද?
අපි අපේ විශ්වාසයන් අන් අය මත බලෙන් පටවනවාද?
විරෝධතාවට විවෘතව සහය නොදක්වන කලාකරුවන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් වර්ජනය කිරීම නවතම ප්‍රවණතාවයකි. ඒ අනුව වෛරී ප්‍රකාශ සහ ‘අවලංගු සංස්කෘතිය’ සමාජ මාධ්‍ය තුළ ආධිපත්‍යය දැරීමට පටන් ගත්තේය. හොඳම උදාහරණය තමයි යොහානි ජනප්‍රිය වූ විට උමතුවෙන් මෙන් ඇයව ආදරයෙන් වැලඳගත් පිරිස්ම සමාජ මාධ්‍ය හරහා ඇයව අවලංගු කරමින් මඩ ව්‍යාපාරයක් ආරම්භ කළ ආකාරය.
මේවා හරිද? සහ ඔවුන් කොතරම් සාධාරණද?
මෙයින් තවදුරත් පෙනී යන්නේ නූතන ශ්‍රී ලාංකිකයන්ගේ කිසියම් බුද්ධිමය බංකොලොත්භාවයකින් පෙළෙන බවක් සහ ඉක්මනින් ප්‍රතිපත්ති හුවමාරු කරන අවිශ්වසනියභාවයක් සහිත ජන කොටසක් බවත්ද?
මේ ඊනියා අරගලය නිසා තම මතවාදයන්ට සහය නොදෙන සහ තම මතවාදයට හෝ විශ්වාසයට සහය නොදක්වන්නේ නම්, එවන් ප්‍රතිවිරෝධී අදහස් දරන්නන් නියත වශයෙන්ම විරුද්ධ මතයට අනුබල දෙන තම සතුරන් බවට සිතන්නටත්, මිනිසුන් එකිනෙකා සමඟ වාද කිරීමටත් වෛරය පතුරවන්නටත් පටන් ගත්හ.
ලෝකයේ ඇත්තේ හරියටම ප්‍රතිවිරුද්ධ මතවාද සහ විශ්වාස දෙකක් පමණක්ද? ඔබේ මතවාදය විශ්වාස කිරීමට සහ පිළිගැනීමට අන් අයට බල කිරීම කෙතරම් සාධාරණද?
අදහස් සහ මතවාද පිළිබඳ අන් අය දැනුවත් කිරීම සහ බලහත්කාරයෙන් මතවාදයන්ට නැඹුරු කර ගැනීමට උත්සහ කිරීම යනු එකිනෙකට වෙනස් කාරාණ දෙකකි; මෙය අන්‍ය මත ඉවසන්නේ නැති ප්‍රකෝපකාරී සමාජයක ලක්ෂණයකි.
දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොව, සංස්කෘතික මානව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් මේවා අධ්‍යයනය කිරීමට සිත්ගන්නා සුළුය. වේදිකාව පිටුපස සිදුවන්නේ කුමක්ද සහ වේදිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලිය යුතුය.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින හෝ බලයෙන් ඒත්තු ගන්වන්න හදන සමාජ හා සංස්කෘතික වෙනස්කම් මොනවාද?
ඊනියා අරගලය හරහා අපට වත්මන් ශ්‍රී ලංකා සමජය ගැන සිතන්නට තවත් කරුණු කිහිපයක් ඉස්මතු වන්නේය.
අපේ සමාජය දැනුමෙන් හොඳින් සන්නද්ධද? (ගුගල් උගතුන් නොවේ)
අපි අන් අයව ඉවසන පරම්පරාවක් සහ ජාතියක් ද?
අපගේ පාරිභෝජක ආර්ථික ක්‍රමය වඩාත් ඵලදායී හා තිරසාර පද්ධතියකට වෙනස් කිරීමට අප සූදානම්ද යන්න තේරුම් ගැනීමට මෙය අපට උපකාර කරයි.
අරගලය හරහා මතු වන වෛරී ප්‍රකාශ සහ කොටි හිතවාදී අදහස් නිසා අපට ප්‍රශ්න කරනන්ට සිදු වන්නේ, 2009 වසරේදී 30 වසරක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමෙන් පසු අපි සත්‍ය වශයෙන්ම ධනාත්මක සාමයක් ලබා ගත්තාද?
අපි සොයා බලමු.
සමාජ හා සංස්කෘතික ප්‍රතිසංස්කරණයක් අපට අවශ්‍යද?
සමාජ මාධ්‍ය විරෝධතා සහ විරෝධතාකරුවන් සමීපව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔවුන්ගේ ඉල්ලීම් අතර දේශපාලන හා ආර්ථික වෙනස හැරුණු විට ශ්‍රී ලංකාව තුළ සමාජ හා සංස්කෘතික වෙනසක් සඳහා ප්‍රබල උත්සාහයක් පවතින බවයි. විරෝධතාකරුවන් ඉල්ලා සිටින සමාජ හා සංස්කෘතික වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ ඔවුන්ට විරුද්ධ අය විශ්වාස කරන මතවාදයන් සමඟ තරමක් ගැටෙන බව පෙනේ.
සත්‍යය නම් සංස්කෘතිය සහ සමාජය යන්න පරිණාමය වෙමින් සංවර්ධනය වෙමින් පැවතිය යුතු අතර දේශපාලන හා ආර්ථික පද්ධති වෙනස් වන විට සමාජය සහ සංස්කෘතියද අනිවාර්යෙන්ම පරිණාමය වී වෙනස් විය යුතුය. කෙසේ වෙතත්, මෙම වෙනස තිරසාර විය යුතු අතර ඇත්ත වශයෙන්ම, සැමට සාධාරණ විය යුතුය. එය හුදු එක කොටසක් සතුටු කිරීමට විය යුත්තක් නොවිය යුතුය. එය පැහැදිලි ලෙසම, ප්‍රජාතන්ත්‍රවාදය අනුව, බහුතරයගේ මතය සහ ඉල්ලීම විය යුතුය.
අපි ජාතික හා සංස්කෘතික අනන්‍යතා අර්බුදයකට මුහුණ දෙනවාද?
ඊනියා අරගලය කරළියට ඒමත් සමඟම ජාතිකත්වය, දේශප්‍රේමය, ජාතිය, ආගම වැනි කතිකාවන් යළි කරළියට පැමිණියේ බොහෝ දෙනෙකුට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ සලසමිනි. මේවා යල්පැන ගිය සහ පදනම් විරහිත මතවාදයන් බව එක් පිරිසක් තරයේ විශ්වාස කරන අතර තවත් පිරිසක් මේවා ඉතා වැදගත් බවත් එය අගය කළ යුතු බවත් තරයේ විශ්වාස කරති.
2014 දී චීනයේ සමාජ විද්‍යා සගරාවක (35 වන වෙළුම, කලාපය 2) ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය යුගයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජාතික අනන්‍යතා අර්බුදය යන මාතෘකාව යටතේ Zhou Guanghui සහ Liu Xiangdong විසින් ලියන ලද ලිපිය පැහැදිලි කරන්නේ,
“In terms of the need for social identity, globalization, while changing the power structure of the world, weakens the autonomy of developing countries, especially that of those which are still in the process of modernization and are confronted with risks inherent in social transformation and where a resultant structural imbalance undermines the state’s integrity and control, making national identity less appealing to ethnic groups. As a result, regional ethnic identity comes to the fore, leading to national identity crises in developing countries.”
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරුන් වන ජෝර්ජ් ෂුල්ට්ස් සහ හෙන්රි කිසිංගර්ගේ හිටපු උපදේශකයෙකු වන චාල්ස් හිල්ට අනුව ප්‍රධාන රටවල් දැන් “ජාතික අනන්‍යතාවයේ ගෝලීය අර්බුදයක්” අත්විඳිමින් සිටී.
මොස්කව් ටයිම්ස් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී හිල් පැවසුවේ, “මොස්කව් වෙතින් නිකුත් කෙරෙන දැවැන්ත මාධ්‍ය පිපිරීම් තුළින් මා දකින්නේ රුසියානු රජය ඔවුන් කවුරුන්ද යන්න (ඔවුන්ගේ අනන්‍යතාවය සෙවීමට) පැවසීමට උත්සාහ කිරීමකි.”
ඔහු වැඩිදුරටත් මෙම සාකච්ඡාවේදී පැවසූයේ,
”You can see the Chinese trying to do something similar with one major media domestic propaganda campaign after another. And in the United States, President Barack Obama is trying to convince the American people that they really have an identity that is starkly different from what the Americans thought their identity was for the last 75 years or more. Europe is probably the worst of all. It’s like an adolescent phase when you are trying to find out who you are when you are 15 years old, and we are seeing this play out all around the world.”
ඔව්, අපිත් විශ්වාස තරයේ කරනවා අපේ සමාජයට සහ සංස්කෘතියට තිරසාර ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව.
අප කිසි දිනෙක තම ජාතික හා සංස්කෘතික අනන්‍යතාවයට පණ නොදුන් ජාතියක් වන අතර නිදහසින් පසු, අපගේම අනන්‍යතාවය පිළිබඳව අපව ව්‍යාකූල කර ඇති (ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික, සහ ආගමික) පද්ධති සමූහයක් අපට තිබේ. අපේ මෑතකාලීන දේශපාලන, සමාජ, ආගමික නායකයන් නිදහස ලබා ගැනීමෙන් පසු එය කිරීමට අසමත් වූ නිසා අපි දුර්වල පදනමක් ඇති ජාතියක් බවට පත්ව සිටින්නෙමු.
අපි සංස්කෘතික හා ජාතික අනන්‍යතා අර්බුදයක් හරහා ගමන් කරමින් සිටින්නෙමු.
අද ශ්‍රී ලාංකිකයන් ලෙස අප දන්නා ජාතියට වයස අවුරුදු 74 ක් වන අතර අපගේ පවත්නා ක්‍රමය (දේශපාලන, ආර්ථික සහ සමාජීය) වසර 207 ක් පැරණි වන අතර එය එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පවත්වාගෙන යාමේ අරමුණින් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කර ඉදිරියට ගෙන ගිය ක්‍රමයකි.
1948 න් පසු, අපේ ස්වදේශික දේශපාලකයෝ ‘මේ පොළොවේ මුල් ඇද නොගත්’ ක්‍රමය අපේම ක්‍රමයක් බවට හරවා ගන්නවා වෙනුවට, ලෝකයේ බොහෝ රටවලින් ණයට ගත් බොහෝ පද්ධතිවල අංගයක් වූ සමස්ත ක්‍රමයම ඉදිරියට ගෙන ගියහ. නිදසුනක් වශයෙන්, අපේ අධ්‍යාපන ක්‍රමය මුලින්ම බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද්දේ ඔවුන්ගේ සුදු ස්වාමිවරුන්ට කීකරු වන සහ බ්‍රිතාන්‍ය ක්‍රමවලට ප්‍රිය කරන දේශීය ‘සුදු ගැත්තන්’ පිරිසක් නිර්මාණය කිරීම සඳහා ය. කාලය වෙනස් විය, අවශ්යතා වෙනස් විය, නමුත් අපගේ ක්‍රමවේදය කිසිදා වෙනස් නොවිය. එය ක්‍රම ක්‍රමයෙන් යල් පැණ ගොස් ජරාජීර්ණ විය.
2015 දී Maria Snegovaya විසින් රචිත National Identity Crisis Threaten World Order නමැති මොස්කව් ටයිම්ස් ලිපියේ ජාතික අනන්‍යතාවය යනු ‘තමන් පොදු වටිනාකම් සහ පොදු සම්භවයක් ඇති මිථ්‍යාවක් සහිත තනි ජාතියක් යැයි හැඟෙන පිරිසකගේ සාමූහික අවබෝධයයි. අනන්‍යතා අර්බුදයක් ඇති වන්නේ එම ප්‍රජාවේ සාමාජිකයන් ඔවුන්ගේ මූලික වටිනාකම් මොනවාද යන්න සම්බන්ධයෙන් නොදැනුවත්ව, කොටස් වලට බෙදී ගිය විටය.” (National Identity is ‘the collective understanding of a group of people who feel they are a single nation with common values and a myth of common descent. An identity crisis occurs when members of that community become divided over what constitutes their core values.’)
නූතන ලෝකය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ජාතික අනන්‍යතාවල පවත්නා දුබල සහ කැඩී බිඳී යන ස්වභාවය නොව, ජාතික අනන්‍යතාවය බොහෝ විට ගොඩනැගෙන්නේ බාහිර සතුරෙකුට එරෙහිව රටක් එක්ව පෙළගැසෙන විටය. 20 වන ශතවර්ෂයේ වැඩි කාලයක්, සෝවියට් සංගමය යුරෝපය සඳහා එවැනි සතුරෙකුගේ භූමිකාව ඉටු කළේය; නමුත් එය සෝවියට් සංගමය බිඳවැටීමෙන් සහ එහි මූලික බාහිර තර්ජනය අතුරුදහන් වීමෙන් පසුව යුරෝපා සංගමය අනන්‍යතා අර්බුදයකට ලක් වූයේ මන්දැයි පැහැදිලි කරයි.
පර්යේෂණයට අනුව, සංස්කෘතික අනන්‍යතා අර්බුදයක් ඇති වන්නේ පුද්ගලයන් තමන්ව හඳුනාගත් සංස්කෘතික ඉතිහාසයේ කේත හෝ සබැඳියාවන් ඔවුන් විසින් අලුතින් සම්මත කරගත් සංස්කෘතියේ කේතයන් සමඟ ගට්ටනයකට ලක් කර ගත් විටය. දැනටමත් සාමූහිකව පිහිටුවා ඇති අනන්‍යතාවයක් ඇති පුද්ගලයෙකු, අගනගර සංස්කෘතිය හෝ ජනප්‍රිය නාගරික සංස්කෘතිය උකහා ගැනීමට උත්සාහ කරන විට, ඔහු හෝ ඇය කිසියම් අඩුවකට හෝ මනසකින් හීනමානයකට මුහුණ දෙන අතර, ඔවුන්ගේ උපන් සමාජයෙන් විසන්ධි වීමේ හැඟීමක් ඇති වේ. මෙය සංස්කෘතික ව්‍යාකූලත්වයට හෝ සංස්කෘතීන්ගේ නොගැලපීමකට ද හේතු විය හැක.
පුද්ගලයෙකු දේශීයත්වය මත පදනම් වූ නමුත් මුළු ලෝකයම වැළඳගෙන ගෝලීයවාදයේ කොටසක් ලෙසට සිය ස්ථානය සහ ප්‍රජාව පිළිබඳ හැඟීමක් වර්ධනය වන තත්වයක් තුළ, මෙසේ සංස්කෘතික අනන්‍යතා අර්බුධයක් ඇති වන අවස්ථා අඩුය.
ප්‍රශ්නය වන්නේ සංස්කෘතියක් හෝ ජාතික අනන්‍යතාවක් නැති වූ විට ඇති වන ප්‍රශ්නය කුමක්ද?
එයට වටිනාකමක් තිබේද සහ එය වර්තමාන යුගයේ සැලකිලිමත් විය යුතු කරුණක්ද?
ඒවා යල්පැන ගිය, පැරණි මතවාද සහ හර පද්ධතිද නැද්ද?
මතු සම්බන්ධයි…
Uncategorized, Sri Lanka 2022, Sri Lanka Identity Crisis, Sri Lanka Protests