මේ කෙටි සටහන තබන්නට සිතුනේ වර්තමානයේ සිදු වන ‘බස මැරීම’ පිළිබඳ ව උපන් සංවේගයෙන් යුතුවය. මම බස සම්බන්ධයෙන් විද්වතෙක් නොවෙමි. නමුත් සිංහලයෙක්මි. එසේම ලේඛකයෙකි. එනිසා මවු බස සුරැකීම කෙරෙහි මාගේ අවධානය නිතැතින් යොමු වන්නේය. සිංහල බස විකෘති කිරීම, වැනසීම පිළිබඳව මා තුළ සංවේගයක් හට ගැනීම වැළක්විය නොහැක.
සිංහල බස, එනම් සිංහල අපේ මවු බස, ලෝකයේ ඇති පැරණිම භාෂාවන්ගෙන් එකකි. එසේම එය ලෝකයේ ඇති වඩාත්ම සුගම සුන්දර භාෂාවන්ගෙන්ද එකකි. සිංහල බසට දිගු ඉතිහාසයක් ඇත. සිංහලයේ ඉතිහාසය ගවේෂණය කිරීම මෙහි අරමුණ නොවේ. නුතන සිංහල බස ලෙස අප භාවිතා කරන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ ප්‍රවාහයන්ට හසුවෙමින් පරිණාමයන්ට ලක් වුණු, සංවර්ධනය වුණු බසකි.
වර්තමානයේ සිංහල බස මැරීම ආකාර කීපයකින් සිදු වේ. එකක් නම් ඇතැම් රූපවාහිනී මාධ්‍ය සහ බොහෝ ගුවන් විදුලි මාධ්‍යයන් හරහාය. බොහෝ වැරදි ඇතිව ඔවුන් බස අසුරුවන ආකාරය අසන්නට, දකින්නට ලැබේ. අනෙක් ආකාරය නම්, නූතන බොහොමයක් පොත් පත්ය. වර්තමානයේ ප්‍රකාශයට පත් කරන බොහොමයක් පොත් සිංහල බස අමු අමුවේ මරා දමන අතර , ඇතැම් පුවත් පත් ද මේ කාර්යය සිදු කරන්නේය. පාරේ ඇති බොහෝ දැන්වීම් වලත් වැරදි ලෙස සිංහල බස යොදා ගෙන ඇති අවස්ථා එමට ඇත.
මේ හැර , බොහොමයක්ම සිංහල ‘බ්ලොග්’ වලින්ද යහමින් සිංහල බස මරා දමන අවස්ථා එමටය.බොහෝ මෙවැනි සිංහල බ්ලොග් වල භාවිත වන්නේ ‘එෆ්.එම්’ බසයි. වැරදි ව්‍යාකරණ , වැරදි අක්ෂර වින්‍යාසය එමටය. ඉඳ හිට වන්නේ නම් එය පරිගණකයෙන් අකුරු ඇමිනීමේදී සිදු වූ වැරදීමක් කියා සැලකිය හැක. එහෙත් එය එසේ නොවන බවත්, බස පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොගෙන ‘ඔහේ’ ලියන්නන් වාලේ ලිවීම නිසා ‘කරන’ බවත් වැටහෙන්නේ ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරන විටය. අන්තර්ජාලය, විශේෂයෙන් සමාජ වෙබ් අඩවි තුළත් වැරදි ලෙසත් විකෘති ලෙසත් සිංහල බස භාවිත කිරීම දක්නට ඇත.
ලිවීම හොඳ දෙයකි. එහෙත් ලියන්නන් වාලේ හෝ, ජනප්‍රියත්වය උදෙසා හෝ, මුදල් උදෙසා හෝ, හුදු සිය අදහස ප්‍රකාශ කිරීමට හෝ ලිවීම නිසා සිදු වන්නේ සිංහල බස විකෘති වීමත්, බස නැසීමත්ය.
ලිවීමේදී භාවිතා කල හැකි සුන්දර සුගම වචන රාශියක් සිංහල බස තුළ ඇත. සුන්දර යෙදුම්, උපමා ඇත. එසේම අපට ලිවීමේදී එක බසකුත්, කතා කිරීමේදී තවත් බසකුත් කියා බසෙහි දෙකොටසක් ඇත. මේ දේවල් අමතක වීම හෝ කිරීම සිංහල බස විනාශ වීමට හේතු වේ. මෙහි අහිතකර ප්‍රතිඵලය ප්‍රතිඵලය වන්නේ, අනාගත පරපුර මේ වැරදි ලෙස භාවිත විකෘති කරන ලද සිංහල බස ග්‍රහණය කර ගැනීමයි.
ඉංග්‍රීසි බස ලිවීමේදී හෝ කියවීමේදී හෝ වැරදීම ලැජ්ජාවක් ලෙසටත්, සිංහල බස වැරදීම ‘විලාසිතාවක්’ ලෙසටත් අප සලකන්නේ ඇයි?
© සියලූම හිමිකම් ඇවිරිණි. කතෘගේ ලිඛිත අවසරය නොමැතිව මෙහි සඳහන් කිසිවක් හෝ උපුටා ගැනීම, ගබඩා කර තැබීම, නැවත ප්‍රකාශය, පලකිරීම සපුරා තහනම්ය.
Copyright © All Rights Reserved. The words, ideas and images are the intellectual property of Ama H. Vanniarachchy. All work published (words and images) here is copyrighted. If you wish to reproduce the work published here, please inform the writer, to get her written permission and acknowledge this site as the source.
Uncategorized, Ama H.Vanniarachchy, Sinhala, Sinhalese Language, Sri Lankan writers
Views: 8