අමා එච්. වන්නිආරච්චි විසිනි
“මේ සොහොන් ගෙට ඇතුළු වන සියලුම මිනිසුන් මෙම සොහොනට විරුද්ධවී නපුරුකම් කර එය විනාශ කරයි; (එනිසා) ජලයේදී කිඹුලා ඔවුන්ට විරුද්ධ වෙත්වා, ගොඩබිමේදී සර්පයන් ඔවුන්ට විරුද්ධ වෙත්වා. ජලයේ සිටින හිපපොටේමස් සහ ගොඩබිම සිටින ගෝනුස්සන් ඔවුන්ට විරුද්ධ වෙත්වා.”
පුරාවිද්‍යාඥ සහ ඊජිප්තු විද්‍යාඥ ආචාර්ය සාහි හවාස්ගේ රන් මමිවරුන්ගේ නිම්නය (Valley of the Golden Mummies) යන ග්‍රන්ථයේ ඇතුළත්වන පෞරාණික ශාපයක්.
එවැනි අනතුරු ඇඟවීමක් සහිත ස්ථානයකට ඇතුළු වීමට තරම් ඔබ නිර්භීතද?
ශාපයන් ගැන කතා කරන විට අපට සැණින් සිහියට නැගෙන්නේ ඊජිප්තුවේ පැරණි ශාප, පැරණි ජනප්‍රවාද, සුරංගනා කතා සහ ඩිස්නි චිත්‍රපටය.
පාරාවෝවරුන්ගේ සදාකාලික නින්දට බාධා කරන අය ශාපයට ලක්වන බැවින් ඔවුන් විනාශ වීමට නියමිත බව අප පැරණි කතා අනුසාරයෙන් අසා ඇත්තෙමු.
පෞරාණික සොහොන් ගෙවල්වලට ඇතුළු වන අය පමණක් නොව පැරණි සොහොන් ගෙවල්වල සහ පිරමිඩවල පර්යේෂණ කටයුතුවල නියුතු වූවන්පවා අකල් මරණවලට හෝ අද්භූත රෝගවලට හෝ අනතුරුවලට මුහුණ බව කියවෙන කතන්දර අපි අසා ඇත්තෙමු. මෙම සිදුවීම් හුදු අහඹු සිදුවීම් බවත් සැබෑ ලෙසම ශාපයකට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පසුකාලීන අධ්‍යයනවලින් හෙළි වුවද, ඊජිප්තුවේ පැරණි සෙල්ලිපිවල සටහන් කොට ඇති නොයෙක් ශාපයන් එවැනි කටකතා වලට උපත සැලසීය. වසර දහස් ගණනකට පසුව වුවද, තවමත්, පැරණි ශිලා ලේඛනවල දක්නට ලැබෙන මෙම ශාප ඇත්තෙන්ම බෙහෙවින්ම සිත කලබල කරවන අතර සොහොන් ගෙයට ඇතුළු වන අයගේ සිත් තුළ භීතියක් ඇති කළ හැකි අතරම, ඔවුන්ගේ සිත් තුළ වරදකාරි හැඟීමක් සහ බියක් ඇති කරවීමට සමත්ය.
ඒවා මුලින්ම ලියැවුණු කාලයට වඩා හාත්පසින්ම වෙනස් ආගමික සහ සංස්කෘතික පසුබිමක ජීවත් වන අපටත් මෙම ශාපයන් කියවීමේදී කිසියම් තැතිගැන්මක් සිතට ඇති කරන්නේ නම්, මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ, සැබවින්ම එම දෙවිවරුන්ගේ බලය පිළිබඳ විශ්වාස කළ මිනිසුන්ගේ සිත් තුළ ඇති කරන ලද බිය කුමනාකාරයේ එකක් වන්නට ඇතිදැයි සිතා බලන්න.
මෙම ශාපයන් තුළින් සිදු කළේ මිනිසුන්ගේ සිත් තුළ භීතිය ඇති කර ඔවුන් විසින් සොහොන් කොල්ලකනු ලැබීම වැළැක්වීමයි. ඒ සොහොන් ගෙවල් සහ ඒවායේ ඇති වස්තූන් ආරක්ෂා කිරීමටයි. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය එක්තරා ආකාරයක ප්‍රාථමික ආරක්ෂක පද්ධතියක් බවයි.
ඉන්දියාවේත් පන්සල් දේපළ අවභාවිත කරන අයට ශාප කරන ලෙස ලියන ලද සෙල්ලිපි ඇත. ඒ වගේ ම ලංකාවේ සෙල්ලිපිවලත් මෙවැනි ශාපයන් ලියැවුණේ පන්සල්වල දේපළ ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය. ලංකාවේ සෙල්ලිපිවල ඇති ශාපයන් ගැන බොහෝ දෙනෙක් එතරම් අසා නොමැත. කෙසේ වෙතත්, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා මේ පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු කර ඇති අතර මෙම රසවත් මාතෘකාව පිළිබඳ පර්යේෂණ ලිපි සහ පොත්පත් ද පළ කර ඇත.
මෙතැන් සිට මම ඔබව කුතුහලය දනවන ගමනක රැගෙන යන බැවින්, අපි මහාචාර්ය කුලතුංගගේ පර්යේෂණ සොයාගැනීම් අපගේ මාර්ගෝපදේශය ලෙස භාවිතා කරමු.
ශාපයක් යනු කුමක්ද?
ශාපයක් යනු පුද්ගලයෙකුට අවාසනාවක්, නපුරක් සිදු වේවාය යන ප්‍රාර්ථනාව ඇතිව කියනු ලබන පද්‍ය හෝ ගද්යයකි. සාමාන්‍යයෙන් ශාපයක් යනු වෛරය, ක්‍රෝධය, වේදනාව, රිදවීම, පළිගැනීම වැනි අඳුරු, භයානක මානව හැඟීම් සමුදායක් කැටි වූ වදන් පෙළකි. ඒ නිසාම ශාපයන් නපුරු විජ්ජා, නපුරු ආත්ම සහ අද්භූත බලයන් සමඟ සම්බන්ධ වේ. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, අදටත් සෑම ආගමකටම අයත් මිනිසුන් එවැනි දේ විශ්වාස කරති.
වසර දහස් ගණනකට පෙර, දළ වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවස වැනි කාලවල පටන් ශාපවල බලය ගැන විශ්වාස කළ අපේ මුතුන් මිත්තන් පන්සල් දේපළ ආරක්ෂා කිරීමට ඒවා භාවිතා කළහ.
ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවල දක්නට ලැබෙන ශාපයන් (සිංහල සහ දෙමළ)
මහාචාර්ය කුලතුංගට අනුව ශ්‍රී ලංකාවේ සෙල්ලිපියක කොටා ඇති පළමු ශාපය ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් වේ. මෙම සෙල්ලිපිය ගැරඬිගල සෙල්ලිපිය ලෙස හඳුන්වන අතර එය අනුරාධපුරයේ රජකම් කළ III කාශ්‍යප රජුගේ (. 732 – 738) කාලයට අයත් වේ.
පන්සලේ දේපළ අවභාවිත කරන අයට කිසිදාක කන්නට බත් නැති වෙන බවත් ඊළඟ භවයේදී බල්ලන් කපුටන් වී ඉපදෙන බවත් මෙම ශාපය පවසයි.
එවැනි ශාපයන් ලියා ඇත්තේ මන්දැයි තේරුම් ගැනීමට, එම සමාජයේ ආගමික, සමාජීය සහ දේශපාලන පසුබිම අප මුලින්ම තේරුම් ගත යුතුය.
එම කාලයේ ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික පසුබිම කුමක්ද?
මහාචාර්ය කුලතුංග පැහැදිලි කරන පරිදි, මෙම පළමු ශාපය සහිත සෙල්ලිපිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ලෙස දකුණු ඉන්දීය බලපෑම පැවති සමයක ය. තුන්වන කාශ්‍යප රජු දකුණු ඉන්දියාවේ වසර ගණනාවක් ගත කර දකුණු ඉන්දීය හමුදාවක් සමඟ ලංකාවට පැමිණි බවත් ඔහු දකුණු ඉන්දියාවේ බමුණන් අතර කාලය ගත කළ බවත් මහාචාර්ය කුලතුංග පවසයි. මෙම හමුදාවේ සහාය ඇතිව ඔහු අනුරාධපුරයේ රජ විය. III වන කාශ්‍යප යනු පල්ලවයන් සමඟ විශාල දේශපාලන හා සමාජ සබඳතා පැවැත්වූ මානවම්ම රජුගේ පුත්‍රයා ය. දේශපාලන ඉතිහාසයට අනුව මෙම සිංහල – පල්ලව මිත්‍රත්වය 8 වැනි සහ 9 වැනි සියවස් වලදී උච්චතම තලයක පැවති බව පැහැදිලිය. පුරාණ සෙල්ලිපිවල මෙවන් ශාපයන් සඳහන් වීම පිටුපස ඇති හේතුව මෙය විය හැකිය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවල සඳහන් වන තොරතුරු ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ පදනම වන බෞද්ධ චින්තනය ප්රතිරාවය කරයි. එසේ වුවද, දිවයිනේ සංස්කෘතියට බලපෑම් ඇති කරන විවිධ විශ්වාසයන්ගේ ප්රතිරාවය නොවැළැක්විය හැකිය. එබැවින් ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවල දැකිය හැකි ශාපයන් මෛත්‍රිය, කරුණාව සහ දයාව පිළිබඳ බෞද්ධ චින්තනයට ප්‍රතිවිරුද්ධ අදහස් විදහා දක්වයි. මෙම ශාපයන් මිනිසකු විනාස වීමට, නිරයේ කුණු වීමට, බල්ලෙකු හෝ කපුටෙකු ලෙස ඉපදීමට හෝ කුසගින්නෙන් පෙළීමට සාප කරයි. බෞද්ධ ඉගැන්වීම් තුළ අන්තර්ගත වන්නේ සමීප හෝ දුර සිටින, දකින හෝ නොදකින සියලුම ජීවීන් කෙරෙහි මෛත්‍රිය සහ කරුණාව පැතිරවීම කළ යුතුය යනුවෙනි. මේ අනුව, මෙම ශාපයන් බෞද්ධ චින්තනයේ විඥානයට බෙහෙවින් වෙනස් බව පැහැදිලිය.
පන්සල් දේපල ආරක්ෂා කිරීමට නීතිය ප්‍රමාණවත් නොවේද?
මහාචාර්ය කුලතුංග පැහැදිලි කරන පරිදි, පැරණි ශ්‍රී ලංකාවේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් තිබූ අතර එය ශිලා ලේඛන තොරතුරු මගින් සනාථ වේ. මෙතරම් ශක්තිමත් අධිකරණ පද්ධතියක් තිබියදීත් එම ස්ථාන ආරක්ෂා කිරීමට මෙවැනි ශාප අවශ්‍ය වීමට එක් හේතුවක් විය යුත්තේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම නිසාත්, භික්ෂූන් වහන්සේලා ගිහියන් සමඟ එකට අධිකරණ ක්‍රියාදාමයට සහභාගි වීම අකැමැති වීම නිසාත් බව ඔහු පවසයි.
මිනිසුන් පන්සලේ දේපළ හොරකම් කළේ කුමන හේතුවක් නිසාද?
නමුත් මිනිසුන් පන්සල්වල දේපළ සොරකම් කරන්නේ හෝ අයථා ලෙස පරිහරණය කරන්නේ ඇයි?
ඔවුන් නීතියට බය වුණේ නැද්ද?
අප ඉහත සඳහන් කළ පරිදි, නීතිය සක්‍රියව හා ප්‍රමාණවත් ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ අවස්ථා තිබිය හැකිය. එවිට පැණ නඟින දෙවන ප්රශ්නය වන්නේ, බෞද්ධයන් හෝ හින්දුන් පන්සල්වලින් හෝ දේවාලවලින් සොරකම් කරන්නේ ඇයි?
ඒ බව මහාචාර්ය කුලතුංග සිය කෘතියෙන් පැහැදිලි කරයි. මේ අදාළ කාලය වන විට විදේශ ආක්‍රමණ සහ සිවිල් නොසන්සුන්තාව හේතුවෙන් ජනතාව දුෂ්කර කාලවලට මුහුණ දුන් අවස්ථා තිබූ බව ඔහු පවසයි. මෙසේ පන්සල් කොල්ලකනු ලැබුවේ මිනිසුන් පමණක් නොව අර්බුධ කාලවල සිටි පාලකයනුත්ය
මහාවංශයේ එවැනි උදාහරණ වාර්තා වේ. ඇතැම් රජවරුන් සහ කුමාරවරුන් සහ ඔවුන්ගේ ඇමතිවරුන් විහාරස්ථානවල ධනය කොල්ලකා ඇති බව මහාවංශයේ සඳහන් වේ. වසර ගණනාවක් පුරා පැවති සිවිල් නොසන්සුන්තාවය තුළ රටේ ආර්ථිකය බරපතල ලෙස පහත වැටුණි. මහාවංශයට අනුව එවැනි කාලවලදී පාලකයන් දළදා මාලිගාව කොල්ලකා ඇත. රන් පිළිම සොරකම් කොට, ස්තූප කඩා දමා ඒවා තුළ ඇති ධනය කොල්ලකා ඇත. මෙම රජවරුන්ගේ විදේශීය හමුදා බෞද්ධ විහාරස්ථාන කෙරෙහි කිසිදු ගෞරවයක් නොදැක්වූ අතර ඔවුන් ඒවා කොල්ලකෑහ. මිනිසුන් දරිද්‍රතාවයෙන් පීඩා විඳි මෙවන් අභාග්‍යසම්පන්න කාලයන් තුළදී සාගතය රටේ පැතිරෙන්නට විය.
මෙවන් කාලයන් වලදී පන්සල් ආරක්ෂා කිරීමට නීතිය සහ කරුණාව හා මෙත්තාව පිළිබඳ බෞද්ධ චින්තනය ප්‍රමාණවත් නොවනු ඇත. එබැවින් ඒ සඳහා වෙනත් විකල්පයක් සෙවීමට අවශ්‍ය විය. බෞද්ධ සාහිත්‍යයට අනුව පන්සල් දේපළ විනාශ කරන හෝ සොරකම් කරන අය මහා පාපයක් සිදු කරන බවත්, භයානක අකුසල කර්මයක් ඉන් ලැබෙන බවත් විශ්වාසයක් පවතී. මෙම සිතුවිල්ල හෝ අදහස තවදුරටත් වර්ධනය වී භයානක ශාපයන්ගේ බිහිවීම සිදු විය.
ඉන්දියානු ශිලා ලේඛනවල සඳහන් වන ශාපයන්
මෙම ශාප සඳහා ප්‍රධාන හේතුව ඉන්දියානු බලපෑම විය හැකිය. අප ඉහත පැහැදිලි කළ පරිදි මෙම සෙල්ලිපි ලියැවුණු කාලසීමාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ පැවති දකුණු ඉන්දීය දේශපාලන හා සංස්කෘතික බලපෑම දූපත්වාසීන්ගේ සිත් තුළ මෙවන් අදහසක් ඇතිවීමට හේතු වූ බව සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ ශාප සහිත සෙල්ලිපි ලිවීමට සියවස් ගණනාවකට පෙර එවැනි සෙල්ලිපි ඉන්දියාවේ ලියා ඇත.
මහාචාර්ය කුලතුංග මහතා පැහැදිලි කරන පරිදි පන්සල් දේපළ අවභාවිත කරන්නන්ට හරකෙක් මැරීමේ පාපය, බ්‍රහ්මණයෙක් මැරීමේ පාපය හෝ පංච මහා පාපකර්මය සිදු කිරීමේ පාපයට සමාන පාපයක් රැස් වන බවට ඉන්දියානු සෙල්ලිපිවල ශාපයන් සටහන් කොට ඇත. පසුකාලීන ශිලා ලේඛනවල සඳහන්වන ශාපයන් වඩාත් දරුණු වේ. පන්සල් දේපළ අවභාවිත කළ අය නිරුධක වින්ධ්‍යා වනයේ වියළි රුක් කඳක් තුළ කාලසර්පයෙක් (විෂ සහිත කළු නාගයෙක්) ලෙස උපත ලබන බව ඔවුහු පැවසූහ. තවත් එවැනිම ශාපයක් නම්, එවැන්නෙකු කුණු ගොඩක පණුවෙකු ලෙස ඉපදීම හෝ ඔහු හෝ ඇය කල්පය අවසන් වනතුරු නිරයේ කල්ගත කිරීමයි.
ශ්‍රී ලංකාවේ (සිංහල සහ දෙමළ) සෙල්ලිපිවල ඇති ශාප මොනවාද?
බල්ලන් හා කපුටන් ලෙස උඉපදේවා – මොරගොඩ ටැම් ලිපිය (10 වැනි සියවස)කපුටන්ට කෑම දෙන පිඟානෙන් බත් කෑමට සිදුවේවි – නාරංබද්ද සෙල්ලිපිය (13 වැනි සියවස)කවදාවත්ම කන්නට බත් ලැබෙන්නේ නැහැ – ගැරඬිගල සෙල්ලිපිය (8 වැනි සියවස)අෂ්ට මහා නිරයේ ඉපදේවා – කෝට්ටංගේ සෙල්ලිපිය – IIනිරයේ ඉපදේවා – කටගමුව සෙල්ලිපියමෛත්රිය බුදුරදුන්ගේ කාලයේ නූපදිවා – එප්පාවල සෙල්ලිපියමෛත්රිය බුදුරදුන් ඔබේ නිවස ඉදිරියෙන් වැඩම කළත් ඔබට දොහොත්මුදුන් දී බුදුන් වැඳ පුදා ගැනීමට නොහැකි වනු ඇත – කළුදියපොකුණ සෙල්ලිපිය (9 වැනි සියවස)ප්‍රේතව ඉපදේවා – ඔරුවල සන්නස සහ සාලව සෙල්ලිපියදිළිඳු වී ඉපදේවා – වහරක්ගොඩ සෙල්ලිපියමුහුදු වෙරළේ සියලු මසුන් මැරීමේ පාපය ඔබට අත්වෙත්වා – වහරක්ගොඩ සෙල්ලිපියමහාතිත්ථයේ එළුවන් මැරීමේ පාපය ඔබට අත්වේවා – අනුරාධපුර ඇතුළුනුවර ලිපිය සහ කතරගම ටැම් ලිපියදිවයිනේ සියලුම පුරවැසියන් විසින් කරන ලද සියලු පාපයන් ඔබට අත්වේවා – අනුරාධපුර ඇතුළුනුවර සෙල්ලිපියගං ඉවුරේ ගවයන් මැරීමේ පාපය ඔබට අත්වේවා – තිරුක්කෝවිල් දෙමළ ලිපියපූජනීය බෝධීන් වහන්සේ දෙපළු කර ගිනි තැපිමේ පාපය ඔබට අත්වේවා – හිඟුලේ විහාර ලිපි ලේඛනනාගයින් විසින් දෂ්ට කරනු ලැබේ – කිරින්දගම දෙමළ සෙල්ලිපිය (12 වන සියවස)කිසිදා ගොඩබිම ඉපදෙන්න එපා – කිරින්දගම දෙමළ සෙල්ලිපිය (12 වැනි සියවස)කාශි, රාමේෂ්වරම් සහ කතරගම යන පූජනීය ස්ථාන ගිනි තැබීමේ පාපය ඔබට අත්වේවාපංච මහා පාපකර්මයේ පාපය ඔබට අත්වේවා – මුන්නේශ්වරම් සිව දේවාල ලිපිය (15 වැනි සියවස)මාතංග, චණ්ඩාල හෝ රොඩි වැනි කුලවල උපත ලබත්වා – නාරංබද්ද සෙල්ලිපියකුණු ගොඩක පණුවෙක් වෙලා උපත ලබත්වා – මිහින්තලේ ලිපියනිල මැස්සන් ලෙස උපත ලබත්වා – කටගමුව සෙල්ලිපි (12 වන සියවස)
පන්සල් හා දේවාල වලට ශාපයන් නිසා ආරක්ෂාවක් සැලසුනේ කෙසේද?
සාමාන්‍යයෙන් මිනිසුන් නීතියට බිය නැතත්, අදෘශ්‍යමාන දේට බියක් දක්වන්නේය. බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් කර්මය විශ්වාස කරති; කර්මයට බිය වෙති. ඔවුන් විශ්වාස කරන්නේ, විශේෂයෙන් බෞද්ධයන්, ඔබ විසින් නරක ක්‍රියාවක් සිදු කළහොත් ඔබ එහි ප්‍රතිවිපාක ගෙවිය යුතුවන බවයි. මෙම ශාපයන් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ඒවා සෘජුව හා නිර්දය ලෙස බෞද්ධයන්ගේ සහ හින්දුන්ගේ (ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල සහ දෙමළ ජනයාගේ) යටි සිතට ආමන්ත්‍රණය කරන බවයි. බල්ලෙකු, කපුටෙකු, සර්පයෙකු ලෙස ඉපැදීම හෝ නිරයේ ඉපදීම බෞද්ධයෙකුට ප්‍රසන්න සිතුවිල්ලක් නොවේ. බෞද්ධ චින්තනයට අනුව මේ උපත් අකුසල කර්මවල විපාක වන අතර වසර ගණනාවක් බොහෝ දුක් විඳිමට සිදු වන ආකාරයේ දුක්ඛිත සත්ත්වයන්ය.
බෞද්ධයන්ට සහ හින්දු භක්තිකයන්ට ගවයන් මැරීම බලවත් පාපයකි (ඕනෑම ජීවියෙකු මැරීම බෞද්ධයෙකුට පාපයකි; එබැවින් මාළු සහ එළුවන් මැරීම ගැන ශාප ඇත). හින්දු භක්තිකයන් සඳහා, කාශි, රාමේෂ්වරම් සහ කතරගම වැනි ස්ථාන සහ බෞද්ධයන් සඳහා පූජනීය බෝධීන් වහන්සේ අති පූජනීය ස්ථාන සහ වස්තූන් අතර වේ. මෙම ස්ථානවලට ගිනි තැබීම ඇදහිලිවන්තයන්ට සිතාගත නොහැකි තරමේ පාපයකි.
ඒ අනුව කර්මය විශ්වාස කරන්නන්ට මෙවන් ශාපයන් නිසා ලොකු භියක් ඇති වෙන්න ඇත. කර්මය විශ්වාස නොකරන අයගේ සිත් තුළ වුවත් මෙවැනි භයානක ප්‍රාර්ථනාවන් සහ පළිගැනීමේ වචන නිසැකවම අනියත බියක් ඇති කරන්නේය. එය අද ඊජිප්තු ශාප කියවන විට අපට දැනෙන හැඟීමට සමාන දෙයක් විය යුතුය. කෙසේ වෙතත්, එවැනි ශාප වැරදිකරුවන්ගේ යටි සිතට බලපාන අතර බියෙන් හා වරදකාරිත්වයෙන් මිදීම දුෂ්කර වන අතර එය අවසානයේ ස්වයං විනාශයකට තුඩු දෙන බව ද කියනු ලැබේ. මේ නිසාම ධනය පතා පන්සල් වනසන අය අවසානයේ අමුතුම රෝගාබාධවලට හා මානසික ව්‍යාකූලත්වයට පත්වන සිදුවීම් බොහෝය.
(අපගේ විශේෂ ස්තුතිය මහාචාර්ය ටී.ජී. කුලතුංගයන්ට පළ කර සිටිමු.
තොරතුරු; මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා විසින් රචිතඅභිලේඛන ශාපපාට; ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ශිලා ලේඛනවලින් සොයාගත් තොරතුරු යන ග්‍රන්ථය)
Uncategorized, Ama H.Vanniarachchy, ancientcurses, gods of Sri Lanka, Sri Lankan archaeology, SRI LANKAN HISTORY