හිම කන්දේ දියණිය

අන්දිස් කඳුවැටියේ එක්තරා ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියකින් සොයා ගත් ගැහැණු ළමයාගේ මමිය දුටු විට සහ ඒ ගැන තොරතුරු දැනගත් විට මාගේ සිත අතිශයින්ම සසල විය. මිත්‍යා විශ්වාස වලින් අන්ධ වූ වැඩිහිටියන් විසින් මිලින කරන ලද ඒ අහිංසක ළපටි ජීවිතය ගැන මට විශාල කම්පාවක් ඇති විය.

නව යොවුන් වියේ පසු වූ ඇයගේ සිත තුළ කෙතරම් නම් සිහින තිබෙන්නට ඇත්ද? නමුත්, දුෂ්ට වූ වැඩිහිටි ලෝකය විසින්, ඇයගේ සිහින බිඳ දමන ලදී. දුෂ්ට ලෙස රවටනු ලැබූ ඇය, නොපෙනෙන දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලදී.
මට ඇය හිම කන්දේ දියණියයි… මේ ඇය ගැන මා සිත උපන් සිතිවිලියි…

හිම කන්දේ දියණියනි,

ඔබ තවමත් නිදන්නීය..

එය එක් අතකින් හොඳය.

මන්ද,

මේ නපුරු ලෝකය දකින්නට,

එහි දුෂ්ටත්වය දකින්නට, අත්විඳින්නට නොහැකි තරමට ඔබ සියුමැලි වැඩිය.

ලොවෙහි දුෂ්ටත්වය විසින් ඔබ තලා පෙළා දමන්නට පෙර ඔබ නික්මුණි…

හිම කන්ද තුරුළෙහි ඔබ නිදන්නේය සදාකාලිකවම..

ඔබේ ළපටි ජීවිතය උදුරා ගත්තවුන් 

හිම මෙන් පිවිතුරු ඔබේ ළපටි සිත රැවටූ ඔවුන්

ඔවුන් විසින්ම වැපුරූ දුෂ්ටත්වය විසින් වනසා දමනු ලැබීය…

ආදරණීය හිම කන්දේ දියණියනි,

දුෂ්ටත්වය වැපුරූ ඔවුන් වැනසී ගොසිනි..

ඔබ ඔබේ අවිහිංසකත්වයෙන් අප සැම හඬවා ඇත.

නිදන්න ඔබ හිම කන්දේ සීතල වැළඳ ගෙන,

හිම මත්තෙහි වැතිර සදහටම…

Uncategorized, Ama H.Vanniarachchy