අමා එච් වන්නිආරච්චි
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් මුහුණ දෙන බොහෝ තර්ජන සහ ගැටුම් අතර, ව්‍යාජ පුරාවිද්‍යාව (Pseudo-archaeology) මෑත කාලයේ සිට කැපී පෙනෙන අර්බුධයක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍යවල ප්‍රගතිය සහ නවීන ඩිජිටල් තාක්ෂණ දියුණුවත් සමඟ සංස්කෘතික උරුමයන් සහ පුරාවිද්‍යාව ඉහළ වන්දියක් ගෙවන බව පෙනේ. මෙම මෙවලම් සහ තාක්ෂණයන් කිසිඳු සීමාවක්, ඇගයීමක් හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඕනෑම කෙනෙකුට නොමිලේ භාවිතා කළ හැකි ඩිජිටල් වේදිකා විවෘත කර ඇත. මෙම ඩිජිටල් වේදිකා බොහෝ දෙනෙකුට ප්‍රවේශ වීමට පහසු වන අතර ඒවා අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය වීම නිසාත්, පාඨකයින් විශාල සංඛ්‍යාවකට සිය අදහස් එකිනෙකා සමඟ හුවමාරුව කර ගැනීමට හැකි වීම නිසාත්, මෙම වේදිකා වඩ වඩාත් ජනප්‍රියවන අතර මේවා ව්‍යාජ පුරාවිද්‍යාව පතුරුවන සහ පෝෂණය වන මධ්‍යස්ථාන බවට පත් වී ඇත.
අන්තරාය වන්නේ ඕනෑම කෙනෙකුට මෙම ඩිජිටල් වේදිකාවල තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් පළ කළ හැකි වීමයි. මෙහි ගැටලුව සහ අන්තරාය වන්නේ මෙම වැරදි තොරතුරු, කුතුහලයෙන් මඩනා ලද සහ විචාර බුද්ධිය මදි ජනතාව විසින් විශ්වාස කිරීමය. අසත්‍ය පුවත් පුන පුනා ප්‍රචාරය කරන විට මිනිසුන් ඒවා සත්‍ය ලෙස ගෙන විශ්වාස කිරීමේ ප්‍රවණතාවක් ඇත. නරකම දෙය නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල හතක පුරාවිද්‍යාව, ඉතිහාසය සහ උරුම කළමනාකරණ අධ්‍යයන දෙපාර්තමේන්තු ඇති අතර ඒවාවල විද්වතුන් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ව්‍යාජ පුරාවිද්‍යාවේ ජනප්‍රියතාවය නිසා සිදුවන හානිය ගැන එතරම් නොතැකීමයි.
ව්‍යාජ පුරාවිද්‍යාව ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාවට සහ සංස්කෘතික උරුමයට විශාල තර්ජනයක් ලෙස හඳුනාගත හැකිය. බොහෝ යූ ටියුබ් නාලිකා, ෆේස්බුක් පිටු, බ්ලොග්, වෙබ් අඩවි සහ රූපවාහිනී වැඩසටහන් ව්‍යාජ පුරාවිද්‍යාව පෝෂණය කරමින් රටේ සංස්කෘතික උරුමයට විශාල හානියක් සිදු කරයි.
අප මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළේ මේ නිසාය. ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින ව්‍යාජ පුරාවිද්‍යාව පිළිබඳ බොහෝ උදාහරණ ගවේෂණය කරමින්, ඒවායින් ඇති කරන අනතුරේ බරපතලකම තේරුම් ගැනීමට උත්සාහ කරමින් අපි අද සිට මෙම ගමන ආරම්භ කරමු.
ව්‍යාජ පුරාවිද්‍යාව යනු කුමක්ද?
ව්‍යාජ පුරාවිද්‍යාව සඳහා ඇති සරලම නිර්වචනය නම් එය මූලික වශයෙන් සත්‍යයෙන් බැහැර වූ පුරාවිද්‍යාවක් හෝ ව්‍යාජ ඉතිහාස කතාවක් බවයි.
ස්ටීවන් විලියම්ස් (Stephen Williams) ඔහුගේ Fantastic Archaeology: The Wild Side of North America Prehistory (1991) යන කෘතියේ, ලියා ඇත්තේ “ව්‍යාජ – පුරාවිද්‍යාව සමකාලීන පුරාවිද්‍යාඥයින්ට ඇති විශාලතම අභියෝග දෙකෙන් එකකි. දෙවැන්න නම් පුරාවිද්‍යාත්මක නටබුන් විනාශ කිරීමයි.”
අවාසනාවකට මෙන්, ශ්‍රී ලාංකීය පුරාවිද්‍යාඥයන් අති බහුතරය මෙම ප්‍රශ්න දෙකෙන් ම කම්පා නොවන අතර රටේ සංස්කෘතික උරුමයට ඒවායින් ඇති කළ හැකි ප්‍රතිවිපාක ගැන කරදර නොවී නොසැලී සිටියි.
Alecia Bassett, ‘Pseudo-archaeology; The Appropriation and Commercialization of Cultural Heritage’,නමැති පර්යේෂණ පත්‍රිකාවේ, ව්‍යාජ පුරාවිද්‍යාව ශාස්ත්‍රීය පුරාවිද්‍යාවට නොගැලපෙන බවත්, උරුමයන් සංරක්ෂණයට විද්‍යාත්මක හෝ ප්‍රයෝජනවත් නොවන අන්තයන්ට උචිත හෝ වාණිජකරණය කිරීමට බොහෝ විට උත්සාහ කරන බවත් පැහැදිලි කරයි.
Stiebing Jr., ‘The Nature and Dangers of Cult Archaeology’ (1987) හි තර්ක කරන්නේ ව්‍යාජ-පුරාවිද්‍යාත්මක ප්‍රකාශයක් එහි ක්රමයේ සහ සාක්ෂිවල අවිද්‍යාත්මක ස්වභාවය, සංකීර්ණ, දුෂ්කර ගැටළු සඳහා සරල, සංයුක්ත පිළිතුරු සැපයීමේ ප්‍රවණතාවය සහ පුරාවිද්‍යා සංස්ථාපිතය විසින් තමන්ව හිංසාවට ලක් කරන බව පෙනී සිටීමේ ප්‍රවණතාවයක් යන කරුණු ඔස්සේ හඳුනා ගත හැකි බවයි.
මෙම පැහැදිලි කිරීම් මත පදනම්ව, පුරාවිද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් අතීතය අධ්‍යයනය කරන විනයක් බව අපට පැවසිය හැකි අතර ව්‍යාජ පුරාවිද්‍යාව මෙයට හරියටම ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් සිදු කරන බවත් පෙනී යයි. සංකීර්ණ ප්‍රශ්නවලට ඉතා සරල ලෙස පිළිතුරු සපයන ව්‍යාජ පුරාවිද්‍යාව, කිසිසේත්ම විද්‍යාත්මක නොවේ. සාමාන්‍යයෙන්, මෙම පැහැදිලි කිරීම් පවතින සහ පිළිගත් පුරාවිද්‍යාත්මක න්‍යායන් සහ ක්‍රමවලට පටහැනි වේ. සිත්ගන්නා කරුණ නම්, මෙම ව්‍යාජ පුරාවිද්‍යාඥයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින්, රටේ පුරාවිද්‍යා සංස්ථාපිතය විසින් වෙනස් කොට සැලකීමට සහ අසාධාරණයට ලක්වන ලෙස පෙනී සිටීමට උත්සහයක් ගැනීමයි.
ගැරට් ජී ෆාගන් (Garrett G Fagan) ‘Diagnosing Pseudo-archaeology; In Archaeological Fantasies; How Pseudo-archaeology Misrepresents the Past and Misleads the Public’ (2006) හි; ව්‍යාජ පුරාවිද්‍යාඥයා එලෙස අර්ථ දැක්විය හැක්කේ ඔහු හෝ ඇය තම ස්ථාවරය ඉදිරියේ නැවත සිතා බැලීම වෙනුවට ප්රතිවිරෝධතා දත්ත හිතාමතාම නොසලකා හරින විට හෝ සන්දර්භීය සලකා බැලීම්වලදී පමණි. කැමති නිගමනය විනාශ කිරීමට ඇති බිය නිසා හිතාමතාම සෙසු කරුණු මඟ හරිනු ලැබේ හෝ ගවේෂණය නොකොට හරින්නේය.
ව්‍යාජ පුරාවිද්‍යාවේ අන්තරායන්
ව්‍යාජ පුරාවිද්‍යාවේ අන්තරාය වන්නේ ඒවා විද්‍යාත්මක නොවන අතර ව්‍යාජ ඉතිහාසය පතුරුවා හැරීම පමණක් නොව, සංස්කෘතික උරුමයට විශාල තර්ජනයක් ද එල්ල කිරීමයි. ව්‍යාජ පුරාවිද්‍යාවේ බොහෝ අන්තරායන් අතර;
– එය ශ්‍රී ලංකාවේ පිළිගත් ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කරන අතර ඒ පිලිබඳ ව්‍යාකූල කතාවක් ගොඩනංවයි,
– අතීතය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් ප්‍රතික්ෂේප කරයි,
– ප්‍රජාවන් අතර අසමගිය ඇති කරයි,
– එක් සංස්කෘතියක ස්ථාන සහ ස්මාරක තවත් සංස්කෘතියකට අයත් යැයි කියා ඒවා වැරදි ලෙස අර්ථකථනය කරයි.
– ස්ථාන සහ ස්මාරක තර්ජනවලට නිරාවරණය කරයි,
– ප්රජාවන්ගේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයන්ට හානි කරයි,
– එය බෙදුම්වාදය වැනි බරපතල ගැටළු වලට පවා තුඩු දිය හැකිය,
– මෙම ව්‍යාජ මත වල ඉලක්ක වලට සමහර කණ්ඩායම් හෝ පුද්ගලයින් බඳුන් විය හැක,
– පුරාවිද්‍යාවේ පිළිගත් විද්‍යාත්මක ක්‍රම අවප්‍රමාණය කරයි,
– පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විෂයයන් අවතක්සේරු කරයි.
මේ හැර, තවත් බොහෝ කරුණු ඇති අතර, අපි මෙම ලිපි මාලාවේ ගැඹුරින් ඒ සියල්ල ගවේෂණය කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ ව්‍යාජ පුරාවිද්‍යාවට එරෙහි සටනේදී ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් එවැනි ගැටලුවක් පවතින බව හඳුනා ගැනීම වැදගත් වේ. දෙවනුව, එය සංස්කෘතික උරුමයට ඇති කරන තර්ජන සහ ව්‍යාජ පුරාවිද්‍යාව පිටුපස ඇති බලවේග මොනවාද යන්න අප හඳුනාගත යුතුය. අනුක්රමයෙන්, ව්‍යාජ පුරාවිද්‍යාවට එරෙහිව සටන් කිරීමට කුමක් කළ යුතුද යන්න අප දැනගත යුතුය.
විද්වතුන්ට / පර්යේෂකයන්ට (විශ්ව විද්‍යාල සහ ස්වාධීන) මෙම සටනෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඔවුන් සත්‍ය හෝ විද්‍යාත්මක පුරාවිද්‍යාව මහජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි ලෙසට පත් කිරීමට පියවර ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ව්‍යාජ පුරාවිද්‍යාව පිළිබඳ උදාහරණ
අපි මෙම ලිපි මාලාවෙන් ව්‍යාජ පුරාවිද්‍යාව පිළිබඳ බොහෝ උදාහරණ විස්තරාත්මකව ගවේෂණය කරන්නෙමු. අපි එක් එක් කතාව ගැන විස්තර කිරීමට පෙර, අපගේ ගවේෂණය හරහා අපට හමු වූ උදාහරණ කිහිපයක කෙටි ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නෙමු.
1. බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ
මේ කතාවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද, සමස්ත ආසියානු කලාපයේම ඉතිහාසය මුළුමනින්ම විකෘති කරයි. කිසිසේත්ම විද්‍යාත්මක නොවන ක්‍රම මත පදනම්ව ඇති මෙම ප්‍රලාපය, ඓතිහාසික කතාවකට වඩා සුරංගනා කතාවකට සමීප වේ. මෙය ඉපැරණි ස්ථාන සහ ස්මාරකවල ඉතිහාසය සහ පුරාවිද්‍යාව වැරදි ලෙස අර්ථකථනය කරන අතරම ඓතිහාසික චරිත සහ සිදුවීම්වල අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විකෘති කරයි. මේ කතාවෙන් බුදුන් වහන්සේගේ ධර්මයත් විකෘති ලෙස අර්ථකථනය කොට ඇත. මෙය නේපාලයේ සහ ඉන්දියාවේ බෞද්ධ උරුමයේ අනන්‍යතාවය මකා දැමීමට ද හේතු වේ. එසේම සිංහල ජාතිය විසින් ජාතික වස්තුවක් ලෙස ද සිංහල ජාතියේ කතාන්දරය ප්‍රකාශ කරන මාහැඟි ඉතිහාස ග්රන්ථයක් ලෙස ද සැලකෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයක් වන මහාවංසයේ සත්‍යතාව පිළිබඳ අසත්‍ය චෝදනා නගමින් ප්‍රශ්න කරති.
2. රාවණා කතාව
රාවණා යනු හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ එන මිථ්‍යා රජෙක්ය. මෙම මිථ්‍යා රජුගේ කතාව සනාථ කිරීමට පිළිගත් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක නොමැති වුවද, ශ්‍රී ලංකාවේ ඉපැරණි ස්ථාන සහ චරිත පිළිබඳ ඉතිහාසය සහ පුරාවිද්‍යාව වැරදි ලෙස අර්ථකථනය කරමින් රාවණා පිළිබඳ සම්පූර්ණ කතාවක් නිර්මාණය කිරීමට පුද්ගලයින් සහ කණ්ඩායම් සීමාව ඉක්මවා යමින් ඉතිහාසය විකෘති කර ඇත. අන්තරාය වන්නේ මෙම කතාව බොහෝ දුෂ්ට දේශපාලන ව්‍යාපාරවල ඉලක්කය වී ඇති අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයට තර්ජනයක් වීමයි. මෙය පිළිගත් ඓතිහාසික ග්රන්ථවලට සාවද්‍ය ලෙස චෝදනා කරයි. ව්‍යාජ පුරාවිද්‍යාව සහ ඉන්දියාව විසින් මෙහෙයවන ‘රාමායණ සංචාරක ව්‍යාපාරය’ මෙම කතාව දැඩි ලෙස ප්‍රවර්ධනය කරයි. රාවණා කතා පුවත ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයට ද තර්ජනයක් වන අතර එමඟින් මෙරට සංස්කෘතික අනන්‍යතාවයට ඇඟිලි ගැසීමට, එය අවිද්‍යාත්මක ලෙස වැරදි ලෙස අර්ථකථනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට හා පුරාවිද්‍යාවට හානි කිරීමට ඉන්දියාවට ඉඩ සලසයි.
3. ශ්‍රී ලංකාව යනු උපකල්පිත විශාල පුරාණ ශිෂ්ටාචාරයක කේන්ද්‍රස්ථානය විය
සියලු මානව ශිෂ්ටාචාරවල මව වූ විශාල මහාද්වීපයක් ගැන කාලයක සිට ලෝකයේ බොහෝ කතා බහ ඇත. ඇතැමුන් එය ඇට්ලැන්ටිස් යැයි පවසන අතර ඇතැමුන්ට අනුව එය මූ හෝ හෙලංකා ලෙස හැඳින්වේ. ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකාව මෙම විශාල මහාද්වීපයේ කොටසක් වූ බවයි. දකුණු ඇමරිකාව (මායා, ඉන්කා), කැස්පියන් මුහුද අවට ගොඩබිම, මධ්‍යධරණී (ඇසිරියාව), නයිල් නිම්නය, ආදී වශයෙන් ලොව පුරා පාහේ ශිෂ්ටාචාරය ව්‍යාප්ත වූයේ ශ්‍රී ලංකාවෙනි. මෙම කතාව, හානිකර නොවන බව බැලුබැල්මට පෙනුනද, මෙම ප්‍රබන්ධ විශ්වාස කරන අයට විශාල අහිතකර බලපෑමක් ඇති කරයි; මෙය ජාතික අභිමානය පිළිබඳ ව්‍යාජ සහ පුහු අනවශ්‍ය හැඟීමක් ඇති කළ හැකිය. මෙය විද්‍යාත්මක නොවන ක්‍රම මත පදනම් වූ හුදු කතන්දරයක් පමණක් වන අතර, එමඟින් ඓතිහාසික ස්ථාන සහ චරිතවල අනන්‍යතාවය ද වෙනස් කරයි.
4. පිටසක්වල ජීවින් සහ ශ්‍රී ලංකාව
ලංකාවේ පැරණි ඉදිකිරීම් සමහරක් පිටසක්වල ජීවීන් විසින් නිර්මාණය කරන ලද්දක් බවත් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ (රන්මසු උයන) තරු දොරටුවක් ඇති බවත් ඇතැමුන් පවසති. දානිගල පර්වතය සහ ඒ අවට පිටසක්වල ජීවීන් හා සම්බන්ධ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන තවත් ස්ථානයකි. අනුරාධපුරයේ පිහිටි යෝධ බෞද්ධ ස්තූප ද පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධ කර ඇත. මෙම පිටසක්වල ජීවින් සම්බන්ධ කතාව මෙම ස්ථාන සහ ස්මාරකවල සංස්කෘතික වටිනාකම් අවතක්සේරු කරන අතරම ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කරයි. මේ කතාවද පාදකව ඇත්තේ කිසිසේත්ම විද්‍යාත්මක නොවන ක්‍රම මතය.
5. පධානඝර ජෛන ආරාම ලෙස හඳුනා ගැනීමට උත්සාහ කිරීම
මෙය තවමත් එතරම් ජනප්‍රිය් නොවූ නැඟී එන ව්‍යාජ පුරාවිද්‍යා කතාවක් ලෙස සටහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ තවමත් එතරම් ජනප්‍රියත්වයක් නොලැබුණත් ඉන්දියාවේ ජෛන දිගම්බර කණ්ඩායම් අතර මෙය ප්‍රචාරය වෙමින් පවතී. මෙම මතය මුල්වරට ප්‍රකාශ කරන ලද ශ්‍රී ලාංකිකයා වන්නේ වත්මන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාය. බෞද්ධ ආරාම ශෛලියක් ලෙස හඳුනාගත් පධානඝර නම් වාස්තු විද්‍යාත්මක ලක්ෂණයට අර්ථකථන දීමේදී මේ කතාව ගොඩනැගෙන්නේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද මත නොවේ. මේ ගැන යම් සොයා බැලීමක් කරන විට අපටද දැනගන්නට ලැබුණේ මෙම ව්‍යාජ පැහැදිලි කිරීමත් සමඟ ජෛන සංචාරක ව්‍යාපාරය ලෙස සංකල්පයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. අන්තරාය වන්නේ එය සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රීය න්‍යායන්ට පටහැනිව යන අතරම, ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාවය ද ව්‍යාජ ලෙස වෙනස් කිරීම සිදු වීමයි. එසේම, මෙය වෙනත් උගතුන්ට සහ ඉතිහාස ලෝලීන්ට ඉතා වැරදි ආදර්ශයක් සපයයි; මන්ද මිනිසුන් මෙය අනුගමනය කරමින් තව තවත් ව්‍යාජ අර්ථකථන දීමට උත්සාහ කළ හැකිය. එසේම, මෙය විදේශීය කණ්ඩායම්වලට (විශේෂයෙන් ආගමික කණ්ඩායම් වලට) සදාචාර විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට බාධා කිරීමට සහ මැදිහත් වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉතා නරක ආදර්ශයක් සපයයි.
අප විසින් මෙම කතාන්දරවල මූලාරම්භය, සහ එම මතවාද වල වසර ගණනාවක පරිණාමය, දේශපාලනය සහ සමාජ-සංස්කෘතික ඇඟිලි ගැසීම් ඇතුළු මෙම කතා පිටුපස ඇති කුමන්ත්‍රණ, සහ ඒවා පිටුපස සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් සහ ඒවා අපේ සංස්කෘතික උරුමයට කෙතරම් හානිකරද යන්න පිළිබඳව ගැඹුරින් ගවේෂණය කරනු ඇත.
මේ සියල්ල භාෂණයේ නිදහසට හෝ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පිළිබඳවදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. නමුත් ගැටලුව වන්නේ ව්‍යාජ පුරාවිද්‍යාවේ මෙම උදාහරණ මගින් ස්ථාන සහ ඓතිහාසික චරිතවල අනන්‍යතාවය වැරදි ලෙස අර්ථකථනය කිරීම සහ විකෘති කිරීම හුදෙක් විද්‍යාත්මක නොවන ක්‍රම මත පදනම් වීමයි. නව අර්ථකථන දීමටත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමටත් අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිගත් ශාස්ත්‍රීය විද්‍යාත්මක න්‍යායන් විය යුතුය. මෙම කතාන්දර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බුදුන්වහන්සේ ඉපදුණාය යන ප්‍රබන්ධය, නේපාලයේ සහ ඉන්දියාවේ බෞද්ධ අනන්‍යතාවය අතුගා දැමීමටත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් විකෘති කිරීමටත් හේතු වේ. මෙමගින් සිංහල ජාතියේ අනන්‍යතාව වැරදි ලෙස අර්ථකථනය කිරීමේ දුෂ්ට දේශපාලන කුමන්ත්‍රණ ද දිරිමත් කරයි.
ඒ වගේම මේ විකෘති කතා ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයට තර්ජනයක් වන්නේය. මෙම කථා බොහොමයක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා භූගෝලීය ස්වෛරීභාවයට සහ ඒකාග්‍රතාවයට අභියෝග කරන අතර සමහරක් බෙදුම්වාදයට පවා තුඩු දෙයි. මේ සමහර මතවාද, විශේෂයෙන්ම රාවණා කතාව සහ පිටසක්වල ජීවින්ගේ කතාවලට මාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්නේ හුදෙක් මුදල් ඉපයීම සඳහායි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් වැරදි ලෙස වාණිජකරණය කිරීමට වැඩි වැඩියෙන් මිනිසුන් දිරිමත් කරන බැවින් ඉතා මෙය වැරදි ආදර්ශයක් සපයයි.
මතු සම්බන්ධයි.
Link for the original article – https://ceylontoday.lk/news/unscientific-twisting-of-the-truth
Uncategorized, Ama H.Vanniarachchy, pseudoarchaeology, Ramayana, Ravan, ravana, Sri Lankan archaeology, SRI LANKAN HISTORY