හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO පිළිබඳ ජනප්‍රියතම සංකේත වන්නේ පියාඹන පීරිසි සමග හිස විශාල දෙඇස් ලොකු කුරුමිටි සිරුරක් ඇති රූපයකි. පිටසක්වළකින් පැමිණෙන්නේ යැයි විශ්වාසයක් පවතින මෙම වස්තු ගැන අපිට නිසි පිළිතුරක් දීමට අපොහොසත්ය. මන්ද තවම අප ඒවා හඳුනා ගැනීමට උත්සාහ දරමින් සිටින බැවින් හා ඇමරිකාව වැනි රටවල් ඒ හා සම්බන්ධ කරුණු කාරණා ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ දැරීමත් නිසාය.
මානව වර්ගයා උඩ බැලීමට පටන්ගත් දා සිට ප්‍රශ්න වැලක් හිස මත පැටවිණි. විවිධ වර්ණගැන්වී ඇති අහස තුළ වලාකුළු, ඉර හඳ තරු, තරු රටා, දීප්තිමත් ආලෝක එළි, උල්කාපාත වැනි නොයෙකුත් කරුණු කාරණාවලට උත්තර සෙවීමට පටන් ගත්හ. හරියාකාර උත්තරයක් දීමට නොහැකි පිටසක්වළින් පැමිණෙන්නේ යැයි විශ්වාස කරන සිදුවීම් සිය ගණනින් තොරතුරු ඇති අතර ඒ සිදුවීම් ගැන නිරීක්ෂණ මට්ටමින් පවතී.
ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන එම සිද්ධි සම්බන්ධයෙන් මෙහි දැක්වෙන්නේ ඒ අතුරින් වඩාත් තහවුරු වූ සිදුවීම් කිහිපයකි.
හඩ්සන් නිම්නයේ හඳුනා නොගත් පියාසර වස්තූන්
1982 සිට 1986 දක්වා කාලය තුළ දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට උතුරින් පිහිටා ඇති හඩ්සන් නිම්නය ආශ්රිත අහසේ විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි පහන් සහිත ඪ හැඩැති හඳුනා නොගත් වස්තූන් පියාසර කරමින් පැවැති බවට ඇසින් දුටු සාක්ෂිකරුවෝ පන්දහසකට අධික පිරිසක් වාර්තා කළහ.
ෂැග් හාබර්හි සිදුවීම
1967 ඔක්තෝබර් හතර වැනි දා කැනඩාවේ ෂැග් හාබර් නම් ධීවර ගම්මානයක් ආශ්රිත ජලයට නාඳුනන වස්තුවක් විශාල පිපිරුමක් සහ ශබ්දයක් නගමින් කඩා වැටුණද එරට නාවික හමුදාව විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් පරීක්ෂණයේ දී මේ වස්තුව සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
වෙස්ටල්හි නාඳුනන ආකාශ වස්තුව
1966 අප්‍රේල් හය වැනි දා පෙරවරු 11ට පමණ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න්හි වෙස්ටල් උසස් පාසලට ඉහළ අහයේ මෝටර් රථයක් මෙන් දෙගුණයක් විශාල අළු පැහැති පීරිසියට හැඩය ගත් වස්තුවක් සිසුන් සහ ගුරුවරුන් විසින් නිරීක්ෂණය කරන ලද අතර එරට හමුදාව තහවුරු කළේ එය ඔවුන්ට අයත් යානයක් නොවන බවයි.
ඇලස්කාවේ ගුවන් යානයක් හඹා යාම
1986 නොවැම්බර් 18 වැනි දා ඇලස්කාව ආශ්රිත අහසේ දී ජපානයේ බෝයිං 747 ගුවන් යානයක් හඳුනා නොගත් පියාසර වස්තුවක් විසින් හඹා ගොස් ඇති බව ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් වාර්තා කෙරිණි. එහි දී පටිගත වූ රේඩාර් සාක්ෂිය නාඳුනන ආකාශ වස්තුවක් සම්බන්ධයෙන් වන ප්‍රථම රේඩාර් පටිගත කිරීම ලෙස සැලකේ.
චිකාගෝහි ඔහාරේ ගුවන් තොටුපළේ සිදුවීම
2006 නොවැම්බර් හත් වැනි දින චිකාගෝහි ඔහාරේ ගුවන් තොටුපළ ඉහළ අහසේ ලෝහ පීරිසියක හැඩැති යාත්‍රාවක් පියාසර කොට ඇති අතර එය අහසේ වලාකුළු අතර වෘත්තාකාර සිදුරක්ද නිර්මාණය කරන ලද බවට සිදුවීම දුටුවෝ පැවසූහ.
බෙල්ජියමේ ආකාශ වස්තු තරංග
1989 නොවැම්බර් සහ 1990 අප්‍රේල් අතර කාලය තුළ දී බෙල්ජියමේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිකෝණාකාර නාඳුනන ආකාශ වස්තූන් පියාසර කරන ලද බවට දහස් ගණනක් පුද්ගලයන් වාර්තා කළ අතර එහි දී මේ ආකාශ වස්තූන් බොහොමයක තරංග වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට බෙල්ජියම් හමුදාවට හැකියාව ලැබී ඇත.
කෑශ් සහ ලැන්ඩ්රම් ආකාශ වස්තුවලට නිරාවරණය වීම
1980 දෙසැම්බර් 29 වැනි දා පුද්ගලයන් තිදෙනකු නාඳුනන ආකාශ වස්තු 23කින් වට වූ දියමන්ති හැඩැති යමක් ගස්වලට ඉහළින් තිබෙනු දුටු අතර එහි තාපයට නිරාවරණය වීම නිසා දරුණු පිළිස්සුම් තුවාල සහිත ව ඔවුන් රෝගී වූ බව වාර්තා වේ.
මේ සිදුවීම්වලට අමතර ව 2007 වසරේ දී එංගලන්තයේ සවුත්හැම්ටන් ආශ්රිත ව කහ පැහැති ආකාශ වස්තූන් දෙකක් දක්නට ලැබී ඇති අතර රෙන්ඩ්ලෙෂාම් වනාන්තරය ආශ්‍රිතවද 1980 වසරේ දී වේගවත් පියාසර වස්තුවක් දක්නට ලැබී ඇත.
අනන්ත විශ්වයෙහි පරිමාණය සලකන විට අප මේ විශ්වයෙහි එකම බුද්ධිමත් ජීවියා යැයි සිතීම අසීරු යැයි විද්‍යාඥයන් පවසති. එසේ නම් වෙනත් ජීවියෙක් සිටීද? ඔවුන් කවුරුන්ද? කොයි සක්වළක ජීවත්ව සිටින්නේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන අටියෙන් Voyager 1 හා 2 යානා මීට වසර 45කට පෙර එනම් 1977 වර්ෂයේදී මිනිස් හා වෙනත් ජීවීන්ගේ හඬ මෙන්ම ස්වභාවික ශබ්ද ද, පෘථිවිය මත සිටිනා ජීවීන් පිළිබඳ ඡායාරූප ද ඇතුළත් Golden Record තැටිය අනන්ත පරිමාණ විශ්වය වෙත පියාසර කර හැරියේය.
අද වනවිට කි.මී. බිලියන 24ක් පමණ දුරින් ඈත විශ්වය වෙත ඇදී යමින් පවතී. අප අද සොයන පිටසක්වළ ජීවීන් පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට Voyager යානා අනාගතයේදී අපිට උදව්වක් වනු ඇතැයි විශ්වාස කළ හැක. ඒ හඳුනා ගැනීම සඳහා ගතවන කාලය කොපමණද යන්න ගැටලුව පමණක් පවතින බවයි ඔවුන්ගේ අදහස.
ජේම්ස් වෙබ් අතිප්රබල දුරේක්ෂයෙන් ලබාගත් තොරතුරු, සාධක දැනුම පෘථිවියට බොහෝ ඈත ආලෝක වර්ෂ 120ක් පමණ දුරින් ජීවයක් පැවතිය හැකි රසායනික සංඝටක ඇති වායුන් ඇති බවට තහවුරු කරගෙන ඇත.
කි. පූර්ව 1440 දී ලියැවුණු ඊජිප්තු පැපිරස් පත්‍රිකාවක ඇති පීරිසි වැනි දෙයක් ගැන සඳහන් වේ. එතැන් පටන් වර්තමානය දක්වාම පිටසක්වළ ජීවීන්ගේ පැමිණීම යන හඳුනා නොගත් ආකාශ වස්තු සම්බන්ධ ඉහත දක්වා ඇති පරිදි සිදුවීම් දහස් ගණනින් ලෝකයේ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. ඒ හා සම්බන්ධ ජනප්‍රවාද හා විශ්වාස ද ලොව බොහෝ රටවලින් වාර්තා වේ. ශ්‍රී ලංකාව ද එවැනි රටකි. බොහෝ දෙනකු නොදන්නා නමුත් පිටසක්වළ සහ එවන් ජීවීන් ගැන කියැවෙන ශ්‍රී ලංකාවේ පිහිටි එක් ස්ථානයකි දානිගල. උතුරු මැද පළාතේ පොලොන්නරු දිස්ත්‍රික්කයට අයත්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවසන් මායිමේ පිහිටි කන්දේගම ගමෙහි ධනංජය රජමහා විහාරයට පිටුපසින් හරිත පැහැ වනවදුලට ඉහළින්, දහසක් රහස් හා සිදුවීම් සඟවා විශාල පර්වතයක් ලෙසින් ‘දානිගල’ පර්වතය දැක ගැනීමට පිළිවණ. අඩි 2000 පමණ උසක් ඇති ‘දානිගල’ කන්ද නමත් සමගම ශ්‍රී ලංකාවාසීන් තුළ කිඳා බැස ඇත්තේ පිටසක්වළ යානා ගොඩබසින, අද්භූත එළි ඇදී ඇවිත් පතිත වන ස්ථානයක් ලෙසයි.
අතීතයේ පටන් මේ සිදුවීම් ගැන ගම්වාසීන් ප්‍රකාශ කරන පරිදි රාත්‍රි කාලයේදී (විශේෂයෙන් පොහෝ දිනවලදී) අද්භූත යානා එළි දානිගල කඳු මුදුන මතට පාත්වන බවයි. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් පරම්පරා ගණනාවක් දෑසින් දුටුවැයි විශ්වාස කරන මේ සිදුවීම් සම්බන්ධයෙන් කට කතා වර්තමානය දක්වාම පැවතීම නිසා එක්වරම එය අසත්‍යයක් ලෙස බැහැර කිරීම කළ නොහැක.
අහසේ සිට ‘දානිගල’ කඳු මුදුන දෙස බැලුවහොත් අඩ කවාකාර මොහොර බෑවුමක් (ප්‍රපාත) සහිත ගුප්ත බවින් පිරී ගිය, උඩ මුහුණත පැතැලි කඳු ගල් පර්වතයක රූපයක් දැකිය හැක. කඳු මුදුනතේ හරි මැද සිට රවුම් හැඩයක් ගත් වන පියසකි. වන පියසත් සමග අඩි 20-30 පමණ රවුම් හැඩයටම හිස් බිම් තීරුවක් දැකිය හැකි නිසා මේ ගුප්ත බව තව තවත් තීව්ර කරවයි.
ජනප්රවාදයේ පැවත එන විශ්වාස අනුව ‘දානිගල’ රාවණා රජු සමය දක්වාම දිගු ඉතිහාසයක් ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. එම ජනප්‍රවාදවලට අනුව රාවණා රජුගේ යැයි විශ්වාස කරන යානා ගොඩබෑමේ ස්ථානයක් ලෙසද භාවිත කර ඇති බව ගම්වාසීන් අදටත් විශ්වාසය බැහැර නොකරයි.
මේ නිසාම ‘දානිගල’ දැක, දානිගල තරණය කර මේ අපූරු පර්වතය හා ආශ්රිත ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයක් සඳහා අප ‘සංචාරේ’ කණ්ඩායම ඉකුත්දා පොලොන්නරුවේ දිඹුලාගල බලා පිටත්ව ගියෙමු.
සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තරයෙන් කතා කරන මෙම ‘දානිගල’ සහ අහසේ සිට සහ විවිධ කෝණවලින් ලබාගන්නා ලද දානිගලේ ඡායාරූප එකතුව ද අප සිත් පැහැර ගත් බැවින් අපි ‘දානිගල’ සංචාරයක් සඳහා එක පයින්ම කැමැත්ත පළ කළෙමු. ඒ අනුව ඉකුත්දා කොළඹ සිට කුරුණෑගල, දඹුල්ල, හබරණ, පොලොන්නරුව, මනම්පිටිය ඔස්සේ දිඹුලාගල හරහා ‘දානිගල’ට පැමිණියේ කණ්ඩායමක් ලෙසිනි. එම ගමනේදී පළමුව අපි දානිගල ආසන්නයේ ඇති ධනංජය රජමහ විහාරයේ තොරතුරු සොයා බැලුවෙමු.
හඳුනාගත් කාල නිර්ණයන් අනුව ක්‍රි. වර්ෂ 3 වැනි සියවසේ සිට බෞද්ධ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කර ඇති ධනංජය රජමහා විහාරයට මහසෙන් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබී ඇත. මහරහතන් වහන්සේලා වැඩසිටි ඓතිහාසික පුද බිමකි.
බුදුරජාණන් වහන්සේගේ පළමු ලක් දිව වැඩම කිරීමට ප්‍රථම මෙම ප්‍රදේශවල වාසය කළා යැයි සැලකෙන යක්ඛ ගෝත්‍රිකයන්, දිඹුලාගල, කන්දේගම, යක්කුරේ, මහියංගනය වැනි ප්‍රදේශවල ජීවත් වී ඇති අතර මාදුරුඔය වාරි නිර්මාණය යක්ඛයින් විසින් කරන ලද්දක් යැයි මතයක් පවතී.
දානිගල සහ මාදුරුඔය ශිෂ්ටාචාරය සම්බන්ධ ඉතිහාසය ක්‍රි.ව. 22-24 සමය දක්වා පැහැදිලි ඉඟියක් පවතින බව තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ හමු වූ සඳකඩපහන අතරින් ‘ඉර’ පමණක් ඇති විශාලතම සඳකඩපහන හමුවී ඇත්තේ ද දානිගල ආශ්රිත ධනංජය විහාර භූමියෙනි.
රාත්‍රි කාලයේදී දිඹුලාගල පැත්තේ සිට පැමිණෙන ආලෝක ධාරා වැනි දෑ ඇවිත් මෙම ‘දානිගල’ කඳු මුදුනට පතිත වන සිද්ධි දෙකක් තම ඇසින් දුටු බව පැවසුවේ ධනංජය විහාරස්ථානයේ වැඩසිටි හොරණ විජේවංශාලංකාර ස්වාමින් වහන්සේයි.
දානිගලින් ගල් ලෙන් 60ක් පමණ සොයාගෙන ඇත. වැඩි කොටසක රහතන් වහන්සේලා වැඩසිට ඇත. එක් ගල් ලෙනක විශාල සැතපෙන බුදුපිළිමයක් අදටත් දැකගත හැක. තවත් එක් ගල්ලෙනක මෑතකදී සොයාගත් තවමත් ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි ගලේ කෙටූ හෝ ගලෙන් සූරා මතුකරන ලද රේඛා චිත්‍ර සංකේත දක්නට ඇත. මීටර් 8 පමණ දිගට, මීටර් 2 පමණ පළලටත් විසිරී ගිය මෙම රූපවල මාළුවකුගේ හැඩය ගත් රූපයක් ද, ත්‍රිකෝණාකාර රවුම්, ඉරිවලින් සමන්විත තවත් කොටසකි. පුරාවිද්‍යා විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේවයන් පවසන පරිදි මෙය දකුණු ආසියාවේ දැනට වාර්තා වී ඇති සංකීර්ණතම, සිත්ගන්නාසුලු ප්රාග් ඓතිහාසික ලේඛන නිර්මාණයක් බවයි.
ඉහත සඳහන් කරුණු කාරණාවලින් පෙනී යන්නේ මෙම ‘දානිගල’ කන්ද තුළ ගුප්ත හා රහස් සමුදායක් ගැබ් වී ඇති බවයි. ඒ කරුණු කාරණා සොයන්න අපි දානිගල යමු.
Divaina Newspaper
දානිගල තරණය ලබන සතියට…