නටබුන් වූ විශාල ස්තූපයට ඉහළින් වියළි අහසේ දැවෙන හිරු පායා ඇත. දීප්තිමත් නිල් අහස යට, සුළඟේ ඒ මේ අත වැනෙන්නේ වියළී ගිය උස තණකොළ ගස්ය.
මේ ස්ථානය දශක ගණනාවක් තිස්සේ අත්හැර දැමූ පාළු ස්ථානයක් සේ හැඟෙන්නේය.
කෙසේ වෙතත්, මෙය සාමාන්ය ස්ථානයක් නොවේ.
මේ දුපතේ ප්‍රවාදගත තොරතුරු අනුව මේ අත්භූත පින් බිමකි. මේ, වීරයෙක්, මව් කුස පිළිසිඳ ගත් ස්ථානයකි.
ඓතිහාසික සහ ප්‍රවාද තොරතුරු අනුව, මේ, සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතියේ විමුක්තිදායකයා, සිය පෙර අත්බවයේදී ජීවත් වූ ස්ථානයයි.
මේ නටබුන් වූ මහා ස්තූපය සහිත ස්ථානය, ඉතා අඳුරු අභාග්‍යසම්පන්න කාලයක, සිංහල ජාතියේ ඉරණම තීරණය කළ ස්ථානයකි.
පූජනීය ලාහුගල කොට වෙහෙර යනු දුටුගැමුණු කුමාරයා පෙර අත්බවයේදී සාමණේර හිමි නමක් ලෙස ජීවත් වූ ස්ථානයයි.
මොනරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ලාහුගල කොට වෙහෙර කොට පබ්බත, කොටගල වෙහෙර, හෝ ලාහුගල ස්තූපය ලෙසින් ද හැඳින්වේ. පුරාණ රුහුණේ පිහිටි විශාලතම පිළිම ගෙය මෙම ස්ථානයේ දැකගත හැකිය. මෙය ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොට-වෙහෙර ආකෘතියේ ස්තූප කිහිපයෙන් එකකි.
මෙම චෛත්‍යයේ ඇති සිත්ගන්නා කරුණ නම් එය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ පිළිසිඳ ගැනීම (උපන් ස්ථානය නොවේ) සිහි වීම සඳහාය. ජනප්‍රවාදයට අනුව මෙය ඉදිකර ඇත්තේ දුටුගැමුණු නමින් නැවත ඉපදුනු, ඔහුගේ පෙර ආත්මභාවය යැයි සැලකෙන සාමණේර හිමිනමක් වැඩ සිටි ස්ථානයේය.
අද, අපි ඔබට ඇදහිය නොහැකි තරමේ ධෛර්යය සම්පන්නබව, වීරත්වය සහ දේශප්‍රේමය පිළිබඳ කතාන්දරයක් අත්විඳීමට අතීතයට යාත්‍රා කරන චාරිකාවක් ආරම්භ කරමු.
මෙය යුද්ධය සහ සාමය, ප්‍රේමය, සහෝදරත්වය, මිත්‍රත්වය සහ අධිෂ්ඨානශීලිත්වය පිළිබඳ කතාන්දරයකි. මෙය අප මින් පෙර කිසිදා නොදුටු, නොඇසූ එඩිතර කාන්තාවකගේ ධෛර්යය සහ අධිෂ්ඨානය පිළිබඳ කතා පුවතකි.
මෙය එක් මිනිසෙක් තම මිනිසුන්ට, තම මාතෘ භූමියට සහ තම ආගමට දක්වන ලද කොන්දේසි විරහිත හා අසීමිත ආදරයත් භක්තියත්, පිළිබඳ සිත් ඇදගන්නා කතා පුවතකි.
මේ දුටුගැමුණු මහරජුගේ කතාන්දරයයි; එතුමන් සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨතම දේශප්‍රේමි රජු ලෙස සිංහලයන්ගේ හදවත්වල ලැගුම් ගෙන ඇත්තේය.
අප හා මේ චාරිකාවට එක් වී ඔබේ හදවත ධෛර්යයෙන් හා උද්යෝගයෙන් පුරවා ගන්න.
මේ, එම චාරිකාවේ පළමු දිගුහරුමයි.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ විනාශකාරී අන්ධකාර කාල පරිච්ඡේදයකි. සිංහල රජු වූ අසේල, බලයෙන් පහ කරනු ලැබුවේ වංශකතාවල සඳහන් වන පරිදි එළාර නම් කොල්ලකරුවෙකු විසිනි.
සම්භවය සහ ජාතිය තවමත් හරිහැටි නොදන්නා එළාර, අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කර සිහසුන පැහැර ගත්තේය.
දශක හතරක් ඔහු බලහත්කාරයෙන් අනුරාධපුරය පාලනය කළේය. ඔහු දැහැමි රජෙකු බව වංශකතාකරුවන් පැවසුවද ඔහු සිංහල සිංහාසනයේ, සිංහල රාජ්‍යත්වයේ නියම හිමිකරු නොවීය. එසේම වංශකතා සහ අනෙකුත් ජනප්‍රවාද සඳහන් කරන පරිදි එළාරගේ කාලයේ බුදුදහමට අනුග්‍රහය නොලැබුණි. ඒ නිසාම එළාරගේ දශක හතරක පාලනය කාලය තුළ, දේශයේ සිංහල බෞද්ධ අනන්‍යතාවයට දැඩි තර්ජනයක් එල්ල විය.
එක් ප්‍රවාදගත කථාවකට අනුව, වරක් එළාර සිය රථය සෑගිරියේ (චේතියගිරිය හෝ සෑගිරිය මිහින්තලේ හඳුන්වන අන්‍ය නම් ය) පදවාගෙන ගිය අතර ඔහුගේ රථයේ විය ගස් කොනක වැදී සෑයක පැත්තක් කැඩී ගියේය. මේ පුවත මහාවංසය ද වාර්තා කරයි.
මෙයින් අදහස් කරන්නේ බෞද්ධයෙකු හෝ බෞද්ධ සංස්කෘතිය ගැන හෝ අල්පමාත්‍රයක හෝ අවබෝධයක් ඇති අයෙකු අතින් කිසිදා සිදු නොවන පරිදි ඔහුගේ රථය ස්තූපයකට ඉතා ආසන්නයෙන්ම ගමන් කළ බවයි. ස්තූපයේ වැදී හානි වන තරමට ස්තූපයක් අසලින් කිසිවෙක් රථයක් පදවන්නේ නැත.
මින් ගම්‍යවන තවත් කරුණක් වන්නේ ස්තූපය නටබුන් වූ තත්ත්වයක පැවති අතර සෑගිරිය වැනි ප්‍රධානම බෞද්ධ සිද්ධස්ථානයක් එවන් ජරාජීර්ණ තත්වයක පැවතියේ නම්, අනුරාධපුරයේ සහ රටේ අනෙක් බෞද්ධ සිද්ධස්ථානවල තත්ත්වය දුර්භාග්‍යසම්පන්න වූ බවට අපට බොහෝ දුරට සිතන්නට හැකි බවයි.
සෑගිරියට යන මාර්ගයද නටබුන් වී වෘක්ෂලතාදියෙන් වැසී පවතී බවත් මේ පුවතින් ඉඟි කරන්නේය. මේ මහාවංස පුවත ශ්‍රී ලංකාවේ එළාර පාලනයේ තත්ත්වය තේරුම් ගැනීමට ඇති ප්‍රබල සාක්ෂියකි.
තවද, වංශකතා සහ ජනප්‍රවාදවල සඳහන් වන පරිදි, දිවයිනේ උතුරු තැනිතලාවේ සිංහල බලය දුර්වල විය.
එවන් අඳුරු කාලයකදී මාගම රාජධානියේ රජු, ජාතියේ එකම ගැලවුම්කාරයා විය.
මේ වන විට රුහුණේ රජු වූයේ කාවන්තිස්ස රජුය. ඔහු දූරදර්ශී, අනාගතය දකින, ජාතිය විදේශීය සහ නිත්‍යනුකුල නොවන පාලනයෙන් මුදවා ගැනීමට විශාල සැලසුම් තිබුණු රජෙකි. ඔහු තම බිසව වන විහාරමහා දේවිය සමඟ එක්ව සිංහල ජාතියත්, බුදු සසුනත් ආක්‍රමණිකයෙක් ගෙන් බේරා ගැනීමට මාවත සකස් කළේය.
රට එක්සේසත් කර බලගතු ආක්‍රමණිකයෙකුට එරෙහිව යුද්ධයකට රට සූදානම් කිරීමට ඔහු කල් ඇතිව සැලසුම් කළේය. ඔහුගේ සැලසුම්, සහ සිහින සඵල කළේ ඔහුගේ අතිජාත පුත්‍රයන් වූ දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන වීර පුතුන් දෙදෙනා විසිනි.
වංශකතාවලට අනුව කොටගල විහාරයේ එක්තරා සාමණේර නමක් වාසය කළේය. උන්වහන්සේ බුදුන්වහන්සේ වදාළ මඟ නිවැරැදිව ගමන් කළ සිල්වත්, ගුණවත් සාමණේර නමක් ලෙස ප්‍රකටව සිටියහ. කෙසේ වෙතත්, ඔහු ශාරීරිකව දුර්වලවී හා අසනීප වූ බව පැවසේ. වරක් ඔහු අසනීප වී මරණ මංචකයේ සිටියේය. ඒ බව දැනගත් විහාරමහා දේවිය සාමණේර හිමිනට තම පුත්‍රයා ලෙස උපදින්නට ආරාධනා කළාය.
මෙම කථාව මහාවංශයේ විස්තරාත්මකව මෙසේ විස්තර කර ඇත.
" එකල කොටගල නම් විහාරයෙහි ඉතා සිල්වත් ගුණවත් සාමණේර නමක් විය. නිතරම පින්කමෙහි යෙදී සිටි උන්වහන්සේ අහස් සෑ මළුවට සුවසේ නැඟෙනු පිණිස හිණි තුනක් හා ගල්ලෑලි ද පිහිට වූ සේක. පැන් දන් දුන් හ; සංඝයාට වත් කළ හ. දුර්වල ශරීරයක් ඇති උන්වහසේ බලවත් ලෙස රෝගී වූහ. කළ ගුණ දන්නා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ සිවි ගෙයකින් තිස්ස මහාරාමයට පමුණුවා එහි සිලාපස්ස පිරිවෙන්හි තබා ගෙන උපස්ථාන කළ හ.
විහාර මහා දේවි පෙර වරුයෙහි රජ ගෙයි දී සංඝයා වහන්සේට දන් පිළිගන්වා අපර භාගයේ සුවඳ මල් හා බෙහෙත් ද පිළි ද ගෙන්වා ගෙන ආරාමයට ගොස් නිසි පරිදි පුද පූජා පවත්වා සංඝස්ථවිරයන් වහන්සේ සමීපයෙහි හිඳ ගත්තාය. උන්වහන්සේ බිසොවුන් හට ධර්ම දේශනා කරමින් "තොපට මේ මහා සම්පත්තිය ලැබුනේ පින්කමිනි. දැනුදු පින්කමෙහි අප්‍රමාද වෙව" යි වදාළ හ.
"ස්වාමිනි, මේ කවර සම්පත්තියෙක් ද, දරුවන් නැති අපේ සම්පත්තිය වඳ යැ" යි බිසොව කියුවා ය.
ෂඩ් අභිඥා ඇති ඒ තෙරුන් වහන්සේ පුත්‍ර ලාභය ගැන බලා අර ගිලන්ව සිටින සාමණේරයන් වහන්සේ දකින ලෙස දේවියට නියම කළහ.
දේවි එහි ගොස් "මගේ පුත් බැව් පැතුව මැනවි, අපගේ සම්පත් බොහෝ යැ" යි මරණාසන්නව සිටි සාමණේරයන් වහන්සේට ආරාධනා කළා ය. ඊට කැමැත්තක් නැති බව දුටු පසු බිසොව උන්වහන්සේ වෙනුවෙන් විශාල මල් පූජාවක් කරවා යළිත් පෙර සේම ආරාධනා කළා ය. එයින්ද කැමති නොවූ හෙයින්, බිසොව නොයෙක් බෙහෙත් හා වස්ත්‍ර ආදිය සංඝයාට පූජා කර නැවත ආරාධනා කළා ය.
සාමණේරයන් වහන්සේ රජ කුලය පැතූහ. බිසොව එතැන මොනවට සරසා සාමණේරයන් වැඳ රථයට නැඟී ගියාය. සාමණේරයන් වහන්සේ කාලක්‍රියා කර යන්නා වූ ම බිසොවුන්ගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඒ දැන ඕ තෝමෝ නැවතුණා ය; හස්න රජහට දන්වා රජු හා ආපසු විහාරයට ගියා ය. දෙදෙනාම සාමණේරයන් වහන්සේ පිළිබඳ අවසාන කෘත්‍යය කරවා ඒ පිරිවෙනෙහිම වසමින් හැම කල්හි ම සංඝයාට මහා දන් දුන්හ.”
(මහාවංශය 22 පරිච්ඡේදය.)
ලාහුගල කොටවෙහෙර යනු පසුව දුටුගැමුණු රජු ලෙසින් උපත ලැබූ ඒ සාමණේර හිමිනම වැඩ සිටි ඉපැරණි කොටගල වෙහෙර බව පිළිගත් විද්වත් මතයයි. එබැවින් මෙම වීරෝදාර රණශූර රජුගේ උපත සිහිපත් කිරීම සඳහා කොට වෙහෙර ස්තූපය ඉදිකරන ලද බවට විශ්වාස කෙරේ.
වැදගත්ම කරුණක් නම්, දේශීය ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍යය සහ ජනප්‍රවාදය තුළ දුටුගැමුණු රජුගේ ජීවිතය උත්කෘෂ්ටවත් ලෙස සමරනු ලැබිමයි.
රජුගේ අතීත ජීවිතය සිහිපත් කිරීම සඳහා ස්තූපයක් ඉදිකර ඇත. රජුගේ අනාගත උපත්තිය වටා ප්‍රබන්ධ ගෙතී ඇත. මතු බුදුවන මෛත්‍රී බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවකයින් දෙපළගෙන් කෙනෙකු ලෙස ඔහු උපත ලබන බව පැවසේ.
දුටුගැමුණු ශ්‍රේෂ්ඨ රණකාමියෙකු සහ වීරයෙකු ලෙසත්, බුද්ධාගමේ ශ්‍රේෂ්ඨතම ගැලවුම්කරුවා සහ අනුග්‍රාහකයා ලෙසත් ශ්‍රී ලංකා පාලි සහ සිංහල සාහිත්‍ය තුළ සම්මානයට පාත්‍රව ඇත. ඔහුගේ මරණයෙන් පසු ඔහු ආදාහනය කළ ස්ථානයේ ඔහුට ගෞරවයක් වශයෙන් ස්තූපයක් ඉදිකර ඇත.
දුටුගැමුණු සහ එළාර අතර පැවති යුද්ධය කලාව තුළ උත්කෘෂ්ටයට නංවා ඇත. විශේෂයෙන්ම මධ්‍යතන යුගයේ අග භාගයේ කලාව තුළ මෙම ලක්ෂණය දැකිය හැකිය. දඹුල්ල රජමහා විහාරයේ ඇති සුප්‍රසිද්ධ බිතු සිතුවම දුටුගැමුණු එළාර යුද්ධය විස්තර කරයි. මහනුවර දළදා මාලිගාවේ පිවිසුමේ දුටුගැමුණු සිය කණ්ඩුල ඇතා මතත්, එළාර සිය පර්වත ඇතා මතත් නැඟී සිටින ආකාරය විශාල ගල් කැටයම් දෙකක් මඟින් පෙන්වා ඇත.
එසේම රජුගේ කණ්ඩුල නම් වූ මංගල හස්ති රාජයාගේ ඇත් දළ කතරගම දේවාල භූමියේ තැන්පත් කර ඇති බවද පැවසේ. කතරගම දේවාල පෙරහැර ද සහස්‍ර දෙකකට වැඩි කාලයක සිට දුටුගැමුණු රජුගේ අණ පරිදි වාර්ෂිකව පවත්වනු ලැබේ.
තම ජිවිතයේ විවිධ අවස්ථා මෙන්ම පෙර සහ පසු ජීවිතද ස්මරණය කොට මෙසේ සම්මානයට සහ බුහුමනට ලක් වූ වෙනත් සිංහල රජෙක් නැති තරම්ය.
ඒ නයින්, දුටුගැමුණු මහරජ, සිංහල ජාතියේ සහ සිංහල බෞද්ධ අනන්‍යතාවයේ ගැලවුම්කරුවෙකු ලෙස සිංහල බෞද්ධයන්ගේ විඥානය තුළ තැන්පත් වී ඇති ආකාරය මෙයින් පෙන්නුම් කෙරේ.
ලබන සතියට…
ආශ්‍රිත ග්‍රන්ථ;
1. මහාවංශය - The Great Chronicle of Ceylon (ඉංග්‍රීසි පරිවර්තනය) Wilhelm Geigar, (1912)